කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර ඇති වූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් ඊයේ (6) පෙරවරුවේ ඇති විය. මෙම බහින්බස්වීම ඇතිවූයේ අලුත්මගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී භෝජනාගාරයෙන් ආහාර ගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගැන ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය. මේ අලුත්ගමගේ ඇමැතිවරයාගේ එම ප්‍රකාශයයි.
"සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි කියමින් අද මේ සභාව වර්ජනය කළා. අපි පාර්ලිමේන්තුවේ කැන්ටිම පරික්ෂා කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් හතර දෙනෙක් ඒකෙන් අද කාලා තියෙනවා. අනුර කුමාරටත්, විජිත හේරෙත්ටත් කන්න නැතුව මෙතන හිටියා. පස්සේ ඒ දෙන්නත් කන්න ගියා.
අද පාර්ලිමේන්තුවේ කවුරුත් නැහැ කියලා අනුර කුමාර දිසානායක අද උදේ මෙතන රටට පණිවිඩයක් දෙන්න උත්සාහ කළා. එහෙම කිසිම දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවේ ප්‍රශ්නයකුත් නැහැ. කෑවෙ නැති කතාවක් නෑ. කට්ටියම හොඳට කෑවා." යැයි අලුත්ගමගේ පැවසුවේ උපහාසයෙන් සිනාසෙමිනි.
මේ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක රීති ප්‍රශ්නයක් මතුකරමින් අලුත්ගමගේට පිළිතුරක් දීමට එකවරම නැගී සිටියේය. "මේක තමයි මෙතන ප්‍රශේනේ. මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා තමන්ගේ හිතට එන හිතළු ඔහේ කියවන ඇමැතිවරයෙක් බවට පත්වෙලා තියෙනවා. දැන් මා පිළිබඳව සහ විජිත හේරත් මන්ත්‍රීවරයා පිළිබඳව කරපු ප්‍රකාශය වැරදියි. තමුන්වහන්සේ ඒක කරුණාකරලා ඉල්ලා අස්කර ගන්න. ඔයා දැන් නාවලපිටියේ කෘෂිකර්ම ඇමැති නෙවෙයි. ඔයා දැන් රටේ කෘෂිකර්ම ඇමැති. අඩු තරමින් එහෙම හරි තේරුම් අරගෙන වගකීමෙන් කතා කරන්න පටන් ගන්න” යැයි පැවසූයේ තරමක් ආවේගයෙනි.
“දැන් හරිද .. දැන් හරිද.. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක්ද" අලුත්ගමගේ මහ හඩින් පැවසුවේය. අලුත්ගමගේ යළි කටහඬ අවදි කළේය.
"දැන් මේක තමයි ප්‍රශ්න. ඔබතුමා මගෙන් අහගන්න එපා. මලික් සමරවික්‍රම ඇමැතිතුමා එක්ක කරපු දේවල්. අපි මුල ඉඳල කියන්නම්. අපි මේ පාර්ලිමේන්තුව ගෞරවනීය විදියට තියා ගන්න හදනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කරපු දේවල් සියලු වත්කම් ඔක්කොම අපිට මෙතන කියන්න පුළුවන්. ඒ නිසා බොරුවට මඩගහන එන එපා." අලුත්ගමගේ පැවසුවේය. මේ අවස්ථාවේදී අනුර කුමාර යළිත් රීති ප්‍රශ්නයක් මතුකරමින් යමක් පැවසීමට උත්සාහ ගත්තේය.
අලුත්ගමගේ ඊටද බාධා කළේය. "පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ කියලා කියන්නේ ඇමැතිවරයා. ඔබතුමා නොවෙයි. ඒක තීරණය කරන්නේ එයාද. දැන් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ එකයි. මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා මා පිළිබඳවත්, විජිත හේරත් මන්ත්‍රීතුමා පිළිබඳවත් කරපු ප්‍රකාශය සම්පුර්ණයෙන්ම වැරදියි. අනුර කීවේ කතානායකවරයා දෙස මහත් ඕනෑකමින් යුතුව බලමිනි.
යළිත් බාධා අලුත්ගමගේගේනි. මෙහිදී මුලසුන දෙසට හැරුණු අනුර කුමාර "මේ සභාව මෙහෙයවන්නේ ඔබතුමාද නැත්නම් අලුත්ගමගේ ඇමැතිතුමාද. මාව නතර කරන්න හදනෙත් මාව වාඩි කරන්න හදන්නෙත් ඔබතුමාද නැත්නම් අලුත්ගමගේ ඇමැතිතුමාද."යනුවෙන් පැවසුවේ මහ සද්දෙනි.
"ඔබතුමා අනවශ්‍ය වාදවලට පැටලෙන්න එපා. ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න" කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී පැවසුවේය.
යළිත් අනුර කුමාර දිසානායක කතා කිරීමට පටන් ගත්තේය.
"ඔබතුමාගේ ඔය ප්රශ්නය තමයි මුළු පාර්ලිමේන්තුවටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. මතක තියාගන්න. මෙයාද මේ සභාව මෙහෙයවන්නේ ඔබතුමාද. ඔයා මං ගැන හෝ පක්ෂය ගැන ඕන දෙයක් කියන්න. තියෙනවා තියෙනවා කියලා බොරුවට ෆයිල් හොල්ලන්න එපා. අපි ඔයා ගැන කියන්නම්. මම ඔයා ගැන එළියේ කියලා තියෙන්නේ අනේ... වගකීමක් නැතුව හැසිරෙන මේ ඇමැතිවරයා. ලැජ්ජ වෙන්න ඕන මෙයා."
යළි අනුර කුමාරට අලුත්ගමගේ ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසය.
"මම මෙතන කියන්න කැමති නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසිකිළිය ඇතුලේ වෙච්ච දේවල්. මම එතැනට යන්නේ නැහැ." " ඇමැතිතුමා ඕක ඔතනින් නවත්තන්න." ඒ අවවාදය කතානායකවරයාගෙනි. ''මම මහින්දානන්දට කියන්නේ. අඩු තරමින් විනාඩියක් පවතින බොරුවක් කියන්න. තප්පරයක් පවතින බොරුවක්. ඔයා ලැජ්ජ වෙන්න ඕන හලෝ.." අනුර කුමාර කීවේය.
මේ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර දිගින් දිගටම බහින්බස්වීම් ඇතිවනු දක්නට ලැබිණ.
'පට්ට හොරා” අනුර මහ හඬින් කෑගැසුවේය.
''පට්ට හොරා කවුද. වැව් හාරලා කරපුව කියන්නද" ඒ අලුත්ගමගේය.
-සුජිත් හේවාජුලිගේ-
0 Comments