peradeniya-kalu-bridge-kandy-girl-dies

මහනුවර නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක පසුගිය 9 වන දා
සිට නිවසට නොපැමිණි නිසා ඇය අතුරුදන් බවට ඇගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබේ. මේ අනුව සිදුකළ විමර්ශනයේදී සිසුවියගේ ප්‍රේමවන්තයෙකු ගැන සැකසහිත කාරණා මතුව ඇති අතර දෙමව්පියන්ගේ තොරතුරු අනුව පෙම්වතා බව කියන 20 හැවිරිදි තරුණයෙකු 14 වනදා සැකපිට අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්විය.
අනතුරුව තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී දැරියගේ අතුරුදන්වීම ගැන ඔහු බොහෝ තොරතුරු පාපොච්චාරණය කර ඇත.


තැන්නකුඹුරේ පදිංචි 15 හැවිරිදි  සිසුවිය සමග තමා පෙම්සබඳතාවයක් පවත්වමින් සිටි බව ඔහු පිළිගෙන තිබේ. නමුත් පසුගිය දිනවල එම සම්බන්ධයේ ප්‍රශ්න සහගත දේ මතුවූ බවත් ඒ නිසා ඇයත් ඔහුත් වාදවිවාද ඇති කරගත් බවත් පෙම්වතා පවසා තිබේ.

පසුගිය 9 දින පස්වරු 2.30ට පමණ දැරියගේ පියා බැඩ්මිටන් පුහුණුව සඳහා මෝටර් රථයෙන් කැඳවාගෙන
විත් පාසලට ඇරලවන දර්ශන සහ පියා පිටව යනවාත් සමගම ඇය පාසලෙන් පිටතට පැමිණෙන දර්ශන අසල
සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබූ අතර පොලිසිය ඒවා සොයාගෙන එයින් පසු විස්තරය තරුණයාගෙන් විමසා ඇත.
ඇය එදින පාසලින් පිටට පැමිණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව පිහිටි කළු පාලම අසල සිටි තමා වෙතට පැමිණි බව තරුණයා සිදු කළ ප්‍රකාශ අනුව හෙළිවේ. තම ගැටලුකාරී ප්‍රශ්න එම අවස්ථාවේ කථා කළ බවත් තම දුරකතනයේ වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවිඩ කිහිපයක් දැක ඇය කලබලයට පත්වූ බවත් අනතුරුව ඇය පාලමෙන් ගඟට පැන්න බව ත් තරුණයා පොලිසියට පවසා ඇත.

පේරාදෙණිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන්න පසු තමාට කරගන්න දෙයක් නැතිව ගිය බවද බේරාගන්නට ඉඩක් නොවූ බවද ඔහු කියා තිබේ.
සිද්ධිය නිසා බියට පත්වූ තමා මේ හේතුවෙන් සිද්ධිය කිසිවෙකුට නොකියා තම නිවසට  වී සිටි බව පෙම්වතා පාපොච්චාරණය කර ඇත.
ඔහුගේ ප්‍රකාශයෙන් පසු පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඔහු කියූ ස්ථානය හා අවට මහවැලි ගඟට බැස පරීක්ෂා කර ඇති නමුත් තවමත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවී නැත.
පෙම්වතාගේ ප්‍රකාශය නිවැරදිද නැතිනම් ඔහු සිසුවිය තල්ලුකර ඝාතනය කළේද යන සැකයද පොලිසියට පැනනැගී ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා දෙසැ. 16 දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර සිද්ධිය
සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.