අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී නමැත්තාගේ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (13) දැනුම් දුන්නේය. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලිඛිත දැනුම් දීමක් කර ඇතැයි ද පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පොඩි ලැසීගේ ජීවිතාරක්ෂව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහු සහ ඔහුගේ බිරිය වන දිල්හානි තනුජා මහත්මිය ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පොලිස්පති ද මේ බව කියා සිටියේය. එම්.ටී. මොහොමඩ් ලෆාර්, එස්.යූ.බී. කරලියද්ද යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු පොඩි ලැසී නමැත්තා සුදුසු නියෝගයක් ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවය.
ලබන දෙසැම්බර් මස 15 වැනිදා සිය සේවාදායකයාගේ රැඳවුම් නියෝග අවසන් වන බවත්, ඉන් පසුව ඔහු පෑලියගොඩ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට බාරදීමේ සූදානමක් ඇති බවත් ප්‍රකාශ කරමින් පොඩි ලැසී නමැත්තාන්ගේ නීතිඥවරයා මීට පෙර මෝසමක් ගොනු කර තිබුණි. ඒ සම්බන්ධ කරුණු සලකා බැලූ අවස්ථාවේදී රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසා,
ඊයේ දැනුම් දෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව, මෙම පෙත්සම ඊයේ (13) කැඳවන ලදී. කරුණු සලකා බැලූ අධිකරණය, පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි 9 වැනිදා සිදු කිරීමට නියම කළේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
-තිළිණි ද සිල්වා -
0 Comments