police-advice

පාසල් ළමයින් පිළිබඳ කටයුතු කිරීමේදී නොදන්නා පුද්ගලයන් මෙන්ම පාසලට නොගැළපෙන ආකාරයේ පුද්ගලයන් පාසල්වලට කැඳවීමෙන් වැළකී සිටින ලෙස පොලිස් මූලස්ථානය පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.  හාලි ඇළ ප්‍රදේශයේ පාසලක දරු දැරියන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පැවැත්වීමට පැමිණි පුද්ගලයෙකු අදාළ කටයුතු සිදුකිරීමට සුදුසුකම් නොමැති පුද්ගලයෙකු බවට තහවුරු වී තිබෙන බවත්, ඔහු සමග පැමිණි ආරක්‍ෂකයන් තිදෙනා සන්තකයේ තිබී වායු රයිෆලයක් හා එයට යොදන පතොරම් 1,129 හා දුරකථන 03ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.



මීට අමතරව මනෝවිද්‍යාත්මක වැඩසටහන පැවැත්වීමට පැමිණි පුද්ගලයා හා ආරක්‍ෂකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පැවැත්වීමට පැමිණි පුද්ගලයා එම කටයුතු කිරීමට සුදුසුකම් ලද්දෙකු නොවන බවට තහවුරු වී ඇති බවත් හෙතෙම පවසා සිටියේය. මෙම පුද්ගලයා මේ ආකාරයට තවත් ස්ථාන කිහිපයක දේශන පවත්වා තිබෙන බවට වාර්තා වී තිබෙන බවත්, මේ පිළිබඳවත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, අදාළ පුද්ගලයා පවත්වා තිබෙන දේශන වශයෙන් සිදුකර තිබෙන්නේ, කුමන කරුණුද යන්නත් විමර්ශනය කරන බවත් නිහාල් තන්දූව මහතා පැවසීය.

හාලිඇළ ප්‍රදේශයේ පාසලක දේශන පැවැත්වීම සඳහා අදාළ කටයුතු විදුහල්පතිවරයා විසින් සකස්කර දී තිබුණත්, ඒ පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් හෝ කලාප අධ්‍යක්‍ෂවරයාගෙන් අවසර ලබාගෙන නොමැති බවට තහවුරු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. පාසලක දේශනයක් පැවැත්වීමට යන පුද්ගලයෙකු ආරක්‍ෂකයන් සමග ගමන් කිරීම හා ආයුධයක් රැගෙන යාම අසාමාන්‍ය දෙයක් බවත්, මේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)