police-nab-robber

වන්දනා බස් රථයක් මංකොල්ලකා වසර 21ක් තිස්සේ සැඟව සිටි මැණික් නමින් හඳුන්වන සැකකරු
අම්බලන්තොට පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 20 දින අත්අඩංගුවට ගත් බව
අම්බලන්තොට පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් තැනැත්තා 2001 වසරේ ඔක්තෝබර් මස 12 වැනි දින රාත්‍රි නවයට පමණ සෙවණගල,


මවුආර පාලම අසලදී වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවත්වා එම වන්දනාකරුවන්ට ගිනි
අවි පෙන්වා රුපියල් 7,55,300ක් වටිනා රන් හා මුදල් මංකොල්ල කා තිබිණි.

ලුණුගම්වෙහෙර, කුඩාගම්මාන 4 ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වන්දනාකරුවන් විසින් සෙවණගල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලින් පසුව
මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව ඇඹිලිපිටිය, සබරගමු
පළාත්බද මහාධිකරණයේ නඩු පවරා තිබුණද මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වූ මැණික් අත්අඩංගුවට
ගැනීමට පොලිසියට නොහැකි විය.

පසුව ප්‍රධාන සැකකරු නොමැතිව මහාධිකරණයේදී නඩුව විමසා 2012-03-14 දින දඬුවම් නියම කරන
ලදී. එහිදී ප්‍රධාන සැකකරුට, දෙවැනි සැකකරුට හා හතරවැනි සැකකරුට වසර 15 බැගින් බරපතළ
වැඩ ඇතිව 15 අවුරුදු සිරදඬුවමක් නියම වී තිබිණි.



දඬුවම් නියම වී වසර 9කට ආසන්න කාලයක් ප්‍රධාන චෝදනාකරු සැඟව සිට ඇති අතර අම්බලන්තොට
විශේෂ කාර්යාංශයේ නිලධාරියකුගේ තොරතුරු මත මොහු අත්අඩංගුවට ගෙන සෙවණගල පොලිසියට භාරදී තිබේ.


තිස්සමහාරාම - රෝෂන් රාජික