priyantha-kumara-family

ගනේමුල්ල කැන්දලියැද්දපාළුව ග්‍රාමයේ උපන් දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර දරුවන් හයදෙනෙකුගෙන් යුක්ත පවුලක බඩපිස්සා ය. ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාම සේවය කරන්නේ පාකිස්තානයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලය. මෙරට ආයතන කීපයකම සේවය කළ ප්‍රියන්ත කුමාර 2011 දී පකිස්තානයේ පයිසල්බාද් හි පිහිටි ඇඟලුම් කම්හලක කාර්මික ඉංජිනේරුවරයකු ලෙස රැකියාවට පිටත් වූයේ තම වැඩිමහල් සොහොයුරන්ගේ මාර්ගයෙනි. 

මීට මාසයකට පෙර කමලසිරි ශාන්ත කුමාර ලංකාවට පැමිණියේ ය. 2012 දී වහබ් නසීර්ට අයත් රාජ්කෝ ඇඟලුම් කම්හලේ සේවයට පැමිණි ප්‍රියන්ත එය වැඩි දියුණු කිරීමට මූලිකව ක්‍රියා කළේ ය. 2012 දී යන්ත්‍ර 500 ක් පමණක් තිබූ රාජ්කෝ කම්හල දැන් යන්ත්‍ර 2500 ක් සතු ආයතනයක් වූයේ ප්‍රියන්ත කුමාරගේ මඟ පෙන්වීම හා ඇප කැපවීම නිසා ය. ප්‍රියන්ත මිය යන විට එහි සාමාන්‍යාධිකාරි තනතුර දැරීය.



“එදා රෑ රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පාකිස්තානයේ සිද්ධිය ගැන පෙන්වන ගමන් මගේ මහත්තයාගේ ඡායාරූපය දාන කොට මට උන්හිටි තැන් අමතක වුණා. මම කෑගහලා හැඬුවා. රූපවාහිනිය ඕෆ් කරලා දැම්මා.” යනුවෙන් සඳහන් කළේ ප්‍රියන්තගේ බිරිය නිලූෂි දිසානායක ය.

නිලූෂි දිසානායක රාගම ප්‍රදේශයේ හැදී වැඩුණු අයෙකි. බොරැල්ල ගෝතමී බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගිණුම් අංශයේ රැකියාවක නිරත වූවා ය. එම කාලයේදී ප්‍රියන්ත කුමාර බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉංජිනේරු සහකාර ලෙස රැකියාවක යෙදුණේ ය. එහිදී දැන හඳුනාගත් දෙදෙනා අතර ඇතිවූ ප්‍රේමයේ මල් ඵල ගැන්වීමක් ලෙස දෙදෙනා විවාහ වී එක වහලක් යටට වූහ. විවාහයෙන් පසුව රැකියාවට සමු දුන් නිලූෂි දරු දෙදෙනා සහ සැමියා වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළා ය. ප්‍රියන්ත සහ නිලූෂිගේ වැඩිමහල් පුතු වන ගමිත් ගෙනුක දියවඩන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 වියැති සිසුවෙකි. පොඩි පුතු ලිතුල ලෙසාන් දියවඩන වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 9 වැනි වියේ පසුවන දරුවෙකි.

“කොරෝනා වසංගතය නිසා මහත්තයාට අවුරුදු දෙකකින් ලංකාවට එන්න බැරි වුණා. ඒත් අපිට නිතරම කතා කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන හොයලා බැලුවා. අම්මලා ගැන පවුලේ අය ගැන හොයලා බැලුවා. එයා නැතිවෙන්න ඉස්සෙල්ලා දවසේ අපි එක්ක පැය එක හමාරක් විතර කතා කර කර හිටියා. එයාට වැඩ කරන තැන කරදරයක් තිබෙන බව කවදාවත් කිව්වෙ නැහැ. මගේ මහත්තයා අවුරුදු 11 ක් ඉස්ලාම් ආගම අදහන රටක, ඒ අයගේ සංස්කෘතියත් සමඟ අපූරුවට කටයුතු කළ කෙනෙක්. ඉස්ලාම් අන්තවාදීන් සමඟ ගැටුමක් ඇති කරගන්න තරම් එයා මෝඩ නැහැ. ඒ නිසා ෆැක්ටරිය ඇතුළේ පෝස්ටර් ඉවත් කරන්න කටයුතු කළා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.”



නිලූෂිගේ පියා වන එස්.එම්. දිසානායක මෙසේ කීය.

“මගේ මුනුපුරන් දෙදෙනා තාත්තා එනතුරු ආසාවෙන් මඟ බලාගෙන හිටියේ. ප්‍රියන්ත පුතා කොරෝනා වසංගතයට පෙර සෑම අවුරුද්දක් පාසාම ලංකාවට ආවා. ඒ ආවාම පවුලම එකතු වෙලා විනෝද ගමන් යනවා. දරුවන් දෙදෙනා එක්ක සෙල්ලම් කරනවා. දැන් ඒ මුකුත් නැහැ. අඩු ගණනේ එයාලාට දකින්න මිනියවත් නැහැ. මගේ මුනුපුරන් දෙදෙනාගේ අනාගතය ගැන බලන්න ඕනෑ. අනාගතයේදී අපිට අලුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වේවි.” යනුවෙන් සඳහන් කළේ

නිලූෂිගේ පවුලේ ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සොයුරියක් සිටියි. එහෙත් ඇගේ නැඟණිය ඇයට වඩා බාල වන්නේ විනාඩි 3 කට පමණි. ඒ නිලූෂි සහ නැඟණිය නිවුන් දැරියන් වී සිටීමයි.

ප්‍රියන්ත කුමාරගේ මාමණ්ඩිය වන එස්.එම්. දිසානායක තවදුරටත් පැවසුවේ බෑනා මත්පැන් බිඳක් තොල නොගාන කුරා කුහුඹුවකුටවත් කරදරයක් නොකරන, මදුරුවකුවත් නොමරන ඉතා අහිංසක තැනැත්තකු බව ය. බැණ වැදුණත් සිනාසෙමින් සිටින සරල, නිර්ව්‍යාජ පුද්ගලයකුට මෙවැනි අමානුෂික වධ හිංසාවලට ගොදුරු වී මරණයට පත්වීමට සිදුවීම දැඩි වේදනාවක් බව ඔහු පැවසුවේ ය.

 වැඩිමහල් සොහොයුරු කමලසිරි මෙසේ කීය.

“මල්ලී වැඩ කරපු ෆැක්ටරියේ තත්ත්වය පරීක්ෂා කිරීමට විගණන පරීක්ෂණයක් තියන්න තිබුණා. ඒකට එන්නේ යුරෝපීය රටවල්වල නිලධාරීන්. ඊට කලින් කර්මාන්ත ශාලාව පිළිවෙළට තියන්න ඕනෑ. නැතිනම් කර්මාන්ත ශාලාවට දෙන්න තිබෙන මිලියන ගණනක ඇණවුම් සේරම අත්හිටුවනවා. ඒත් පවිත්‍රතා අංශයෙන් අදාළ දිනය වනවිට ඔවුන්ගේ කටයුතු අවසන් කර තිබුණේ නැහැ. ඒකට මල්ලි ඒ පවිත්‍රතා සේවකයාට දොස් කියලා තිබුණා.”



ප්‍රියන්ත කුමාර දියවඩන විශ්වවිද්‍යාලයේ ගත කළ අවදිය ගැන සිහිපත් කළ සමකාලීන සගයකු වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති ඉංජිනේරු විජිත හේරත්, ඔහු ඉතා අහිංසක මෙන් ම නිහඬ පුද්ගලයකු බව සඳහන් කළේ ය. ජාති ආගම් භේදයකින් තොරව සැමට එක සමානව සැලකූ ප්‍රියන්ත කුමාරට අත්වූ ඉරණම ගැන දැඩි සංවේගය පළ කළ විජිත හේරත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ E 93 කණ්ඩායම වෙනුවෙන් ප්‍රියන්ත කුමාරගේ ඝාතනය හෙළා දකින බව සඳහන් කළේය.

“අපි කැම්පස් ඉන්න කාලේ කොම්පියුටර් තිබුණේ හරිම අඩුවෙන්. ප්‍රියන්ත උසස් පෙළින් පස්සේ කැම්පස් යනතුරු රැකියාවක් කරලා ඒ සල්ලිවලින් කොම්පියුටරයක් අරන් තිබුණා. අපේ බැච් එකේ හැමෝම පාවිච්චි කළේ ප්‍රියන්තගේ කොම්පියුටරය. අනේ එයා කිසිම පැකිළීමක් නැතුව හැමෝටම කොම්පියුටරය දුන්නා. ප්‍රියන්ත නැවතිලා හිටියේ අක්බාර් නේවාසිකාගාරයේ. එයා එක්ක කාමරේ නැවතිලා හිටපු යාළුවාට උදේම තේ හදලා දීලා අවදි කළේ ප්‍රියන්ත.” යනුවෙන් විස්තර කළේ සමකාලීන සගයකු වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති ඉංජිනේරු විජිත හේරත්ය.

ප්‍රියන්ත කුමාර දියවඩන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ 1995 වර්ෂයේදී ය. ඔහු සරසවි වරම් ලැබුවේ කැලණිය ධර්මාලෝක විදුහලෙන් අ.පො.ස. උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුවය. ඔහු ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ, ඔහුගේ දයාබර පියා වන ජයවර්ධන දියවඩන මිය ගියේ ය. ඉන් අනතුරුව ඔහුගේ වැඩිමහල් සොයුරිය ඉගැන්වූ මාතර රාහුල විද්‍යාලයට බාල මල්ලීව ඇතුළත් කරනු ලැබීය. ඇය මාරුවක් ලබා ගම්රටට පැමිණෙන විට ප්‍රියන්ත කැලණිය ධර්මාලෝක විදුහලට ඇතුළත් විය. ප්‍රියන්ත කුමාර ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබන්නේ 1999 දී ය.

1972 දෙසැම්බර් 30 වැනිදා උපත ලැබූ ප්‍රියන්ත කුමාර මිය යනවිට 48 වැනි වියේ පසු විය. තවත් දින කීපයකින් එළඹෙන ඔහුගේ 49 වැනි උපන් දිනය සැමරීමට ඔහු ජීවතුන් අතර නැත.

(හර්ෂා සුගතදාස ලියූ සටහනක් ඇසුරිනි)