priyantha-kumara-murder-update

පකිස්තානයේදී ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම ගැන පරීක්ෂණ පවත්වන එරට පොලිසියට එදින සිදුවූ සිදුවීම් ගැන අලුත් තොරතුරු රැසක් එකතු කිරීමට හැකිව තිබෙයි.
 සියල්කොට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ වසර 10 ක් පමණ සාමාන්‍යධිකාරී ලෙස සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාට ඉහලින් එම ආයතනයේ කටයුතු කළේ ෂබාස් රාෆික් (විධායක අධ්‍යක්ෂ)  සහ ඉජාස් අහමඩ් (ප්‍රධාන විධායක) යන දෙන්නාය. 1935 සිට රාෆික් පවුලේ ව්‍යාපාරයක් ලෙස ගොඩනැගී ඇති මෙහි සේවකයින් 2800 ක් පමණ සේවය කළ අතර වර්ග අඩි ලක්ෂ හතරක පමණ විශාල භූමියක කම්හල පිහිටා තිබුණි. ක්‍රීඩා ආශ්‍රිත ඇඟළුම් නිෂ්පාදනය හා අපනයනය ඔවුනගේ ව්‍යාපාරය විය.

සේවකයින්ට කම්හල තුළ දිවා ආහාරය නොමිලේ පිරිනැමුණ බවත්, නවාතැන් පහසුකම්ද කම්හල් නේවාසික සංකීර්ණයක සපයා තිබුණ බවත් උපරිම සුබසාධනයක් පවත්වා ගිය ආයතනයක් බවත් කියැවිණි.
ජර්මනියට ඇඟළුම් අපනයන කටයුතු සිදු කිරීම හේතුවෙන් එම කම්හල නිතර යුරෝපා වෙළෙඳපොලේ නමක් දිනා තිබූ අතර සිද්ධිය සිදුවූ දිනයේ ප්‍රියන්තට ඉහළින් සිටි ප්‍රධානීන් දෙන්නාද ජර්මනියේ ව්‍යාපාර වැඩ සඳහා ගොස් තිබුණි.
පාකිස්තාන Geo TV අලුත්ම වාර්තා අනුව පසුගිය සිකුරාදා උදෑසන ප්‍රියන්ත කුමාර මහතා හා එහි සුළු සේවකයෙකු අතර ප්‍රශ්නයක් පැනනැගී ඇති අතරම ප්‍රියන්ත එම සේවකයාට පහරදීමක් සිදු කර ඇති බවද වාර්තා කර තිබේ.


හඳුනා නොගත් පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් Geo TV පැවසුවේ, සමහර කර්මාන්තශාලා සේවකයින් මියගිය සාමාන්‍යාධිකාරීවරයාගේ විනය බලාත්මක කිරීමේ ඇතැම් නියෝග දැඩි  බවට නැතිනම් කෙටියෙන් පැවසුවොත් ඔහු ‘සැර කෙනෙකු‘ ලෙස විවේචනයක් පැවති බවයි.
සිකුරාදා උදෑසන සාමාන්‍ය පරීක්ෂාවකින් පසු කුමාර මහතා දුර්වල වැඩ සම්බන්ධයෙන් සනීපාරක්ෂක කාර්ය මණ්ඩලයේ කෙනෙකු සමග බහින්බස්වීමක් සිදු කරගෙන තිබූ බවත් පහර දීමක් කර ඇති බවත් කෙනෙකු සාක්ෂි සපයා ඇත. එම නාලිකාව වැඩිදුරටත් වාර්තා කළේ ඉදිරියේදී ජර්මානු වෙළෙඳ ආයෝජකයින් පිරිසක් කම්හල නැරඹීමට පැමිණෙන බවට දන්වා තිබූ නිසා සාමාන්‍යධිකාරවරයාට කම්හල පින්තාරු කරවන ලෙස ඉහළින් දන්වා තිබූ බවයි. ඒ අනුව
තීන්ත ගෑමට ප්‍රථමයෙන‍් තාප්පවලින් පෝස්ටර් ඉවත් කිරීමට පටන් ගත් බවයි. එහි එක් පෝස්ටරයක් උර්දු බසින් ලියා තිබූ නබි තුමන්ගේ වැකියක් වූ අතර එහි අර්ථය ප්‍රියන්ත කුමාර මහතා දැන සිට නැත. ඔහු එය ඉවත් කරන්නට නියෝග කර ඇත්තේ පින්තාරුවට එය බාධාවක්වූ නිසාය. කෙසේ වෙතත් ප්‍රියන්තගේ මෙම නියෝගය ආගමික මතභේදයකට ආරාධනයක් වී තිබේ.
සනීපාරක්ෂක සේවකයා එය ඉවත් කරන්නට බැරි බව කියමින් ප්‍රියන්ත සමග බහින්බස් වූ බවත් ප්‍රියන්ත කෝපයට පත්වී තමාගේ නියෝගය ඉටු කරන ලෙස සැරවූ බවත් පහරදීමක්ද සිදුවූ බවත් නාලිකාව වාර්තා කර තිබේ.

මෙම අවස්ථාවේ ඇතිවූ කලබලයට ඇතැම් සේවකයන් විරෝධය පළ කළ බවද වාර්තා විය.
නාලිකාවේ ආරංචි මාර්ග පැවසුවේ ඇතිවූ සිද්ධිය ගැන සේවකයින් රොත්තක් පැමිණ තර්ජනාත්මකව චෝදනා කළ අවස්ථාවේ ප්‍රියන්ත කුමාර මහතා සමාව අයැද තත්වය සමථයකට පත්වන සේයාවක් දිස්වූ නමුත් ටික වේලාවකින් අධීක්ෂකවරයෙකු ඔහුට පහර දුන් කම්කරුවන් උසිගන්වා ඇති බවයි.

සේවකයින්ගේ විරෝධය දැඩිවූ අතර 900 කට ආසන්න කම්හලේ එදින පැමිණි අයගෙන් අඩක් පමණ ප්‍රියන්ත කුමාර මහතාගේ කාර්යාලය වට කර ඇත. මෙම කම්කරුවන්ගේ  පණිවිඩ පිටතටද ගිය අතර එදින සිකුරාදා දහවල් ජුම්මා පල්ලියට පැමිණි පිරිස් සියල්කොට්හි වසිරාබාද් පාරේ කම්හල අසළ මාර්ගය අවහිර කරමින් රැස්වී මෙම සාමාන්‍යධිකාරවරයාට එරෙහිව කෑගසන්නට විය.

කම්හලට ආරක්ෂකයින්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රමාණවත්පිරිසක් නොසිටි අතර පොලිසිය කැඳවූ නමුත් පොලිසියටද මෙතරම් පිරිසක් පාලනය කළ නොහැකි වූ බව පසුව දන්වා තිබේ.
ප්‍රියන්ත කුමාර මහතා වසාගෙන සිටි කාමරයේ දොර කඩා එලියට ගන්නට පිරිස ආ වෙලාවේ ඔහු ජීවිතය බේරාගන්නට කම්හලේ වහලයට දිව ගොස් සූර්ය පැනල යට සැඟවීමට උත්සාහ කළේය.

 නමුත් කෝපයට පත් සේවකයෝ ඔහු ලුහුබැන්ද අතර ඔහුව සූරිය පැනල අසලදී ආරක්ෂා කරන්නට උත්සාහ කළ මලික් නැමැති සේවකයාද තල්ලු කරගෙන ප්‍රියන්ත කුමාර අල්ලා පාරට ඇදගෙන ගියෝය.
ඉන්පසු සිදුවූ අමානුෂික සිදුවීම ඉතා වේදනාත්මකය.ඔහුට දරුණු වදදී මරා පුළුස්සන්නට තරම් ම්ලේච්ඡයෝ සැහැසි වූහ.
පිළිස්සෙන සිරුර සමග ඇතැමුන් සෙල්ෆි ගැසුවේ දෙයියන්ට කළ පූජාවක් මතකයේ රඳවා ගන්නා මුග්ධ කුරිරු චේතනාවෙනි.
කෙසේ වෙතත් සිදුවීම සමබන්ධයෙන් අදහස් දක්වා ඇති ප්‍රියන්ත මහතාගේ පවුලේ අය ඔහු අහිංසක බවත් පෝස්ටර් ඉරූ කතා බොරු බවත් දන්වා ඇති අතර මෙම කතා ගොතන්නේ ආගමික මතයක් මත සාක්ෂි සැපයීමෙන් මරණ දඩුවමින් ගැළවීමට හැකිය යන අදහසකින් බව පවසා ඇත.

ප්‍රියන්ත මහතාගේ වැඩිමල් සොයුරු පවසා ඇත්තේ සේවකයින්ගේ පඩි ප්‍රශ්නයක් මත මෙම ගැටලු මතුවූ කතාවකි. කෙසේ වෙතත් එදින වැටුප් ප්‍රශ්නයක් පැවති බවට කිසිදු විදෙස් මාධ්‍යයක් තවම වාර්තා කර නැත.

සියල්කොට්හි ඇඟලුම් කම්හලේ කම්කරුවන් 900 දෙනෙකුගෙන් මේවනවිට කටඋත්තර ලබාගෙන ඇති අතර
 235 දෙනකු සියල්කොට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහයේ 302, 297, 201, 427, 431, 157, 149  වගන්ති හා ත්‍රස්තවාදී පනත යටතේ දඩුවම් පනවන බව දන්වා ඇත.
 රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සෙනසුරාදා වසා දමා තිබූ අතර, එහි ඇතැම් කම්කරුවන් අත්අඩංගුවට ගැනීම් මග හැරීමට පලාගොස් ඇති බවද වාර්තා විය.
(ජියෝටීවී ඇතුළු පකිස්තාන මාධ්‍ය ඇසුරින් විමර්ශන වාර්තාව - Gossiplankanews.com)