seegiri-letters

එක්තරා පාසලක අධ්‍යාපන කටයුතු පරික්ෂා කිරීමට පැමිණි ප්‍රධාන පාසල් පරීක්‍ෂකවරයෙක් එහි එක් පන්ති කාමරයකට වැද ළමුන්ගේ අධ්‍යාපන මට්ටම පිරික්සීමට සිතා එහි එක ළමයකු අමතා මෙසේ ඇසීය.

"සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලීවේ කවුද?"
 ළමයා අන්දුන් කුන්දුන් වී උඩ බිම බැලීය.
 "කවුද?" පරික්‍ෂකවරයා නැවතත් ප්‍රශ්නය එල්ල කළේය.
"අනේ සෑර් මං - මං නං නොවේ." ළමයා වෙව්ලමින් උත්තර  දුන්නේය.


පරීක්‍ෂකවරයා කෙළින්ම ගියේ විදුහල්පතිගේ කන්තෝරු කාමරයටය. "මේ පාසලේ වැඩ කටයුතු ගැන මං නං කොහෙත්ම සෑහීමකට පත් වෙන්නේ නෑ."
"ඇයි සර්?" විදුහල්පති බිය විය.
"මං අහවල් ළමයගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. නමුත් ලැබුණේ මෙහෙම උත්තරයක් - එයා නෙවෙයිලු."

කලබලයට පත් විදුහල්පතිට ද ප්‍රශ්නය හරිහැටි තේරුණේ නැත. එහෙත් ළමයා දුන් පිළිතුර පමණක් ඔහුගේ හිතට කාවැදුණි.

"සර් ඔය කියන ළමයා හොඳ පවුලක හැදිච්ච ළමයෙක්. කවදාවත් නරක වැඩක් කරන්නෙ නෑ. ඒ වගේම කවදාවත් බොරු කියන්නේ
නෑ. එයා යමක් කරේ නෑයි කීවොත් සර් නෑම තමා. බොරුවක් නෙවේ."

ප්‍රධාන පාසල් පරික්‍ෂකවරයා උඩ ගියේය.

කෙළින්ම සිය කාර්යාලයට ගිය ඔහු තමා අහවල් පාසලේ වැඩ කටයුතු පරීක්ෂා  කිරීමට ගොස් ළමයකුගෙන් අහවල් ප්‍රශ්නය ඇසූ බවත්, එයට ලැබුණු මෝඩ පිළිතුර පිළිබඳව එහි විදුහල්පතිට සැල කළ කල්හි ඊට වඩා මෝඩ පිළිතුරක් ඔහුගෙන් ලද බවත් එදාම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට වාර්තා කෙළේය. මාසයකට පසු අධ්‍යාපන අංශයෙන් ඔහුට ලැබුණු පිළිතුර මෙසේය.

"සීගිරි කැටපත් පවුර පිළිබඳ ඔබගේ අහවල් දින දරන ලිපිය සම්බන්ධවයි. මෙය මෙම අමාත්‍යංශයට අයත් කාර්යයක්  නොවන අතර, එය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් කාර්යයක්  වන බැවින්, ඔබගේ ලිපිය සංස්කෘතික අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද බව මෙයින් දන්වමි."