sisters-eye-issue

“ඇස් දෙකට බෙහෙත් දමා බාහිර අංශයේ පුටුවක වාඩි වෙලා ඉන්නකොට කොලුවෙක් ඇවිත් “මේ ඉන්නේ සුගතන් මාමාගේ නැන්දා පේමවතී නැන්දා නේද, මගේ අම්මා කමණි. මම ඔයාව හඳුනනවා’ කිව්වා.  එහෙම කියලා අපි දෙන්නාගේ කරාබු දෙක අරන් ගියා. ඒ විස්තර කොහොම හොයාගත්ත ද දන්නේ නෑ පුතේ" යැයි කොළඹ අක්ෂි රෝහලේදී නරුමයකුට හසු වූ තුම්මෝදර එලවලවල පදිංචි ජී.එල්. ඩී. ප්‍රේමවතී මහත්මිය හැඬු කඳුළෙන් පැවැසුවාය. අක්ෂි ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ අක්ෂි රෝහලට ආ අවස්ථාවේ පේමවතී මාතාවගේ සහ ඇගේ නැගණිය පැළඳ සිටි රුපියල් 40,000ක් පමණ වටිනා කරාබු යුවළ දෙක  පෙරේදා (13 වැනිදා) වංචා කරගෙන රැගෙන ගොස් තිබිණි. තමන් හා තම නැගණිය මෙම වංචාකාරයාට හසු වූ බව ඇය කීවාය. සිද්ධිය සම්බන්ධයෙන් දැඩි වේදනාවෙන් යුතුව පේමවතී මාතාව මෙසේද කීවාය.



“මම කිසිම රැකියාවක් කරන්නේ නැහැ. ඇස්වල තිබු ආබාධයකට නංගි සමග බෙහෙත් ගන්න ඇස් වාට්ටුවට ගියා. ඒ ගිහින් දොස්තර මහත්වරුන්ට ඇස් පෙන්නා  ඇසේ සුදට බෙහෙත් දමා ඉදිරියේ පුටුවක වාඩි  වෙලා හිටියා. එහෙම ඉන්නකොට තරුණ කොලුවෙක් ඇවිත් අපිට කිව්වා 'මම වැලිකන්නේ ලහිරුගම ඉන්නේ, මගේ නම සුදත්. මගේ අම්මා කමණි. මම ඔයාලව හදුනනවා. මේ ඉන්නේ සුගතන් මාමාගේ නැන්දා. පේමවතී නැන්දා නේද කියලා කිව්වා, ඇත්තෙන්ම ඒ විස්තර හරි. කොහොම හොයාගත්තා ද දන්නේ නැහැ. ඒ පුද්ගලයා අපිට කිව්වා අපි හඳුනන දොස්තර කෙනෙක් ඉන්නවා, එයා හමුවෙන්න යමු” කියලා. හැබැයි එතැනට යනකොට නැති බැරි විදිහට යන්න ඕනෑ, නැති බැරි විදිහටයි ඉන්න ඕනෑ  කියලා කිව්වා.

ඒ අනුව මගේ කරාබු දෙකත් නංගිගේ කරාබු දෙකත් ගලවා නංගිගේ හැට්ටය අස්සේ පරිස්සමට තිබ්බා.

  ඒ අය අපිව අරගෙන ඇස් වාට්ටුවේ රථගාල පැත්තට ගිහින් වටපිට බලලා කිව්වා ‘දොස්තර මහත්තයා නැහැ, පස්සේනේන' කියලා. එහෙම කියලා ඒ පුද්ගලයා යන්න ගියා. ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාවේ අපට සැකයකුත් තිබුණා. ඉන් පසු ඉදිරි පරීක්‍ෂණ කටයුතු අපි විසින්ම දොස්තර මහත්වරු හමු වී කරගෙන  ගෙදර එන්න රෝහලෙන් පිටවී කරාබු දෙක බලනකොට කරාබු දෙක වෙනුවට තිබුණේ කුඩා ගල් කෑලි තුනක්. අපිට මේක හිතාගන්න බැහැ. කොහොම වුණත් මේ වංචාකාරයාට අපි අසු  වුණා.  නමුත් මොහු අපේ තොරතුරු හොඳින්ම දන්න බව නම් කියන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේ තමයි නැති වුණේ. කමක් නැහැ අපි ඉන්නවා. ඒ සියලුම දෙවල් දෙවියන් බාර ගනීවි" යැයි හැගීම්බරව පැවැසුවාය.


එච්.ඒ. හේමවතී මහත්මිය මෙසේ පැවැසීය.

“මම උදේ 4.00ට පමණ අක්කා සමග අක්කාගේ  ඇස්වලට බෙහෙත් ගන්න ඇස් වාට්ටුවට ගියා. උදේ 9.30ට පමණ අක්කාගේ ඇස් දෙකට  බෙහෙත් දමලා එළියේ පුටුවල  දෙන්නාම වාඩි වෙලා හිටිය වෙලේ තමයි මේ දේ  වුණේ. මම ස්ථිර රැකියාවක් කරන්නේ නැහැ. රෙදි  මහලා සහ කිරි කපලයි ජීවත් වෙන්නේ. මම වාර ගණනාවක් කොළඹ ආවා ගියා.

නමුත් මේ වගේ  දෙයක් කිසිම දවසක වුණේ නැහැ.  අපිට වුණ දේ දෙවියන්ට බාර දෙනවා. මම අනෙක් අයට කියන්නේ අපිට සිදු වුණ මේ දේ ආදර්ශයට ගෙන මෙවැනි පුද්ගලයන්ට හසු නොවන්නැයි ඉල්ලා සිටිනවා." යැයි හේමවතී මහත්මිය පැවැසීය. පුද්ගලයාගේ තොරතුරු නොදන්නා නිසාත්, ඒ අවස්ථාවේ ඇති වූ භීතිය නිසාත් මරදාන පොලිසියේ පැමිණිල්ලක් නොදැමූ බවත්, අපේ ආරක්ෂාව පතා අපිත් සමඟ කතා කළ පුවත්පත් කාර්යාලයේ මහතාට පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචි අය බව පැවැසූ බවත් හේමවතී මහත්මිය පැවසුවාය.


  -නිහාල් වෙත්තසිංහ-