train-strike-end

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක බැවින් සිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ, සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවය.
ඒ අනුව හෙට (29) සිට සුපුරුදු රාජකාරියේ යෙදෙන බවද පැවසු ඒ මහතා, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද පැවසීය.


දින දෙකක් ඇතුළත දුම්රිය මගීන්ට අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන, සිමෙන්ති හා තිරිඟු පිටි ප්‍රවාහන කටයුතු ද ඇනහිටි අතර දිනකට රුපියල් මිලියන 4ක පාඩුවක් වන බව දුම්රිය පාලනාධිකාරිය පැවසීය.



දුම්රිය රියදුරන්ගේ අතිකාල ගණනය කරන ක්‍රමවේදයටම තමන්ගේද අතිකාල ගණනය කිරීම, උසස්වීම් ලබාදිය නොහැකිනම් ඒ වෙනුවට ආවරණ දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් 25ක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉකුත් 24 වනදා ආරම්භ කර තිබුණි.