කෑගල්ල, පින්නවල අලි අනාථාගාරයේදී මීට මාස තුනකට පමණ ඉහතදී සුරංගි නමැති කෙනර බිහිකළ නිවුන් පිරිමි පැටවු දෙදෙනා ඊයේ (O6දා) සිට මහජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදාකළ බව පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්යක්ෂ මිහිරාන් මැදවල මහතා පැවසීය. වසර 06කට ආසන්න කාලයක් තුළ පින්නවල අලි අනාථාගාරයේ” අලි පැටවෙක් උපත ලබා නොතිබූ අතර,
පසුගිය අගෝස්තු මස 31 වැනිදා පෙරවරුවේ සුරංගි නමැති කෙනර විසින් පිරිමි අලි පැටවු දෙදෙන්නෙකු බිහි කළාය. මෙම පිරිමි පැටවු දෙදෙනාගෙන් එක් පැටවෙකු උපන් අවස්ථාවේදී සාමාන්‍ය නිරෝගී සුවයෙන් පසුවූ අතර සෙසු පැටවා තරමක් දුරට අසාධ්‍ය තත්වයේ සිටියදී අලි අනාථාගාරයේ කාර්යමණ්ඩලය විසින් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටින බවද මිහිරාන් මැදවල මහතා පවසා සිටියේය.
දැනට නිවුන් අලි පැටවු දෙදෙනා නිරෝගී සුවයෙන් ගත කරන බවත් මහජනතාවට ප්‍රදර්ශනය සඳහා මාස තුනකට පසුව ඊයේ (06දා) සිට යොමුකළ බවද හෙතෙම පැවසීය. කෙනර සහ පැටවු දෙදෙනා රැක බලා ගන්නා ඇත්ගොව්වෙකු වු වසන්ත ගුණරත්න මහතා පැවසුවේ, පැටවු දෙදෙනා සෑම අවස්ථාවකදීම මවගෙන් කිරි බොන්නේ එකම වේලාවකට බවය.
සුනිල් බණ්ඩාර, ජයනන්දන යන ඇත්ගොව්වන් තිදෙනාම මාස හතරක කාලයක සිට දිවා රෑ නොබලා රැක බලා ගන්නා බව පැවසු සහකාර අධ්යක්ෂවරයා, තවදුරටත් ඇත්ගොව්වෙක් රාත්‍රි කාලයටද සේවයේ යොදවා සිටින බවද පැවසීය. මෙම පිරිමි සතුන් දෙදෙනාගේ පියා පණ්ඩු බවත් තවමත් මෙ අලි පැටවු දෙදෙනාට නම් තබා නොමැති බවත් සහකාර අධ්යක්ෂවරයා සඳහන් කළේය.
-චමින්ද ජයලත්-
0 Comments