tylvin-speaks

ඉදිරි මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත විය හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ කලද, ඔවුන් සමග හෝ ප්‍රධාන පක්ෂ දෙක සමඟ හෝ සන්ධානගත වීමට  සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.



අමාත්‍ය ධුර භුක්ති විඳිමින් ප්‍රධාන පක්ෂ දෙකේ සිටිමින් රට පත්කළ විනාශයට දායක වූ පිරිස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“ආණ්ඩුවේ ඉන්න සමහර අය ආණ්ඩුව අමාරුවේ වැටුණහම ගැලවෙන්න ක්‍රම හොයනවා. ගිලෙන නැව අතහරින අයට අපි ඉඩ දෙන්නේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ ඉඳලා රට විනාශ කරන්න දායක වුණ අය එක්ක ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැහැ.”

ඇතැම් දේශපාලනඥයන් වංචා දූෂණවලින් තොර බවට ප්‍රකාශ කරන බවට කළ විමසීමකදී ඔහු කියා සිටියේ එය වචනයෙන් නොව ප්‍රායෝගිකව පෙන්විය යුතු බවය.

මෙම අසාර්ථක දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට සැබෑ ලෙසම අවශ්‍ය ජනතා විමුක්ති පෙරමුණ සහ ජනතාව සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ප්‍රධාන පක්ෂවල පළාත් මට්ටමේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවද සිල්වා මහතා පැවසීය.



ඉහළ යන ජීවන වියදමට සහ ඉන්ධන මිලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මහරගමදී සංවිධානය කළ විරෝධතාවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය තවදුරටත් ජනතාව මත බර පටවන්නේ නැතිව ඉන්ධන මිල අඩු කළ යුතු බවයි.

“ඉන්ධන මිල වැඩි වීම නිසා එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්න අමාරු ජනතාව තවත් බරට පත් වුණා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යද්දී ඉන්ධන මිල වැඩි කළේ ඇයිද යන්න රජය පැහැදිලි කළ යුතුයි. ඔහු ප්‍රශ්න කළේය.