vegetable-price-hike

ඉන්ධන මිල වැඩිවීම හමුවේ එළවළු කිලෝවක මිල පවතින මිලට වඩා රුපියල් 10 කින් පමණ ඉහළ යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත  හෙට්ටිආරච්චි මහතා පැවසීය. නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ එළවළු වගා ගොවිපළේ සිට එළවළු ප්‍රවාහනය දක්වා බලපෑමක් ඇති කරන බවයි.  එළවළු මිල මෙසේ ඉහළ ගොස් තිබෙන අවස්ථාවක සහ පාරිභෝගිකයන් ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත් වී සිටින අවස්ථාවක මෙසේ ඉන්ධන මිල වැඩි කිරීම අසාධාරණ බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.




නුවරඑළියේ එළවළු ගොවීන් මහ කන්නයේ එළවළු වගා කිරීමට සුදානම්ව සිටියත් ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් රසායනික පොහොර, දිලීර නාශක, කෘමිනාශක සහනදායී මිලට ලබාදෙන බවට ප්‍රකාශයක් කර නොමැති නිසා ගොවීන් දෙගිඩියාවෙන් සිටින බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය. නුවරඑළියේ එළවළු ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග නුවරඑළිය නිල  නිවෙසේදි මීට දින දෙකකට ප්‍රථම සාකච්ඡා කළ බවත්, එහිදී  අග්‍රාමාත්‍යවරයා මේ සඳහා මැදිහත් වන බවට පොරොන්දු  වුවත්, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කිසිදු නිලධාරියකු ඒ සඳහා මේ වන තෙක් කිසිදු මැදිහත් වීමක් සිදු කර නොමැති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය.


 -රංජිත් රාජපක්ෂ-