weligama-incident

වැලිගම සිට 14 හැවීරිදි නැගණිය සමග කොළඹ පැමිණි 23 හැවිරිදි තරුණියක කොළඹ කොටුවේ දී නැගණිය අතහැර පෙම්වතකු සමග පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.  සිය සොහොයුරිය විසින් අතරමංකර දමා යන ලද 14 හැවිරිදි දැරිය පිටකොටුව මධ්‍යම බනැවතුමේ අඩමින් සිටියදී,

එම පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් සිය බාරයට ගනු ලැබ ඇති බව ද පොලිසිය සඳහන් කරයි.  ඔවුන් දෙදෙනා වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, ජීවිතේ පළමු වතාවට කොළඹට පැමිණ ඇත්තේ පෙරේදා (20) බවත්  පොලිසිය කියයි.  විසිතුන් හැවිරිදි තරුණිය බෙහෙත් ගැනීමට වැලිගම නගරයට යන බව සිය මවට පවසා ඇගෙන් රුපියල් 2000 ක මුදලක් ද ඉල්ලාගෙන 14 හැවිරිදි දැරිය ද සමග නිවසින් පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.


වැලිගම නගරයට පැමිණි ඔවුන් දෙදෙනා  කොළඹ මාතර බස් රථයකින් කොළඹට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.  කොළඹට පැමිණි තරුණියගේ දුරකතනයට පෙම්වතාගෙන් ඇමතුමක් ලැබී ඇති අතර, පසුව ඇය සිය 14 හැවිරිදි සොහොයුරියට රුපියල්  1000ක් දී මාතර බස් රථයකින් යළිත් වැලිගම නිවසට යන ලෙසට දැනුම් දී දැරිය බස් නැවතුමේ අතහැර දමා පෙම්වතා සමග පළාගොස් ඇති බව ද පොලිසිය කියයි.  සිය වැඩිමහල් සොහොයුරිය අතහැර යාම නිසා  කිසිවක් කර කියා ගත නොහැකිව බස් නැවතුම්පොළේ හඬමින් සිටි දැරිය පොලිස් මුරපොළේ නිලධාරින් පැමිණ සිද්ධිය විමසා පිටකොටුව පොලිසියට කැඳවාගෙන පැමිණ ඇත.




ගම් ප්‍රදේශය වැලිගම වුවද දැරියට වැලිගම කොහේද යන්න පැවසීමට වැටහීමක් නොමැති නිසා වැලිගම පොලිසියේ සහායෙන් ඇගේ මවුපියන් කොළඹට ගෙන්වාගෙන ඇතැයි   පොලිසිය කියයි.  පොලිසිය සිද්ධිය දැනුම් දෙන අවස්ථාවේ දැරියන් දෙදෙනා අතරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි කලබලයට පත්ව සිට ඇත.   දැරියගේ මව සහ පියා පොලිසියේ දැනුම්දීම මත පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත ද සිල්වා මහතා පෙරේදා (21) හමුවී ඇති අතර ඔහු සිද්ධිය දැනුම් දී දැරිය මව්පියන්ට බාර දී ඇත. වතුවල කුලී වැඩ කරමින් ජීවත් වන එම මව්පියන්ට පොලිසිය ආහාරපාන සහ වැලිගම බලා යාමට මුදල් ද දී දැරිය ද සමග වැලිගම බලා පිටත්කර යවා ඇත.  දැරිය පිටකොටුවේ අතරමංකර දමා පෙම්වතා සමග පළා ගිය බව කියන ඇගේ 23 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය කියයි.


 -ඉන්දිකා රාමනායක-