wellawatte-robbery

කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් සුපිරි නිවසක් තමන්ගේ නමට ලියා ගැනීමේ අටියෙන් ඔහුව පැහැරගෙන ගිය තරුණියක හා එයට උදව් කළ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
වැල්ලවත්ත ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට නිතර යන එන කෝටිපතියා එහිදී හඳුනාගත් 19 හැවිරිදි සුරූපී තරුණියක පසුකලෙක ඔහුගේ අනියම් පෙම්වතියක බවට පත්ව ඇති අතර

ඇය හා ඇසුරු කිරීමට ව්‍යාපාරික කෝටිපතියාට අයත් අලුත්ම නිවසක් පරිහරණය පිණිස ලබාදී ඇත.
කහතුඩුව ප්‍රදේශයේ පිහිටි සුපිරි  නිවසේ නතරවී වරින්වර පැමිණෙන පෙම්වතා සනසා සැපවත් ජීවිතයක් ගතකරමින් සිටි මෙම තරුණිය තවත් පෙම්වතෙකු රහසේ ඇසුරු කරන බව ව්‍යාපාරිකයාට ඉව වැටීමෙන් පසු ප්‍රශ්න මතුවී සම්බන්ධය අඩාලවී ඇති අතර ඇයට නිවසින් පිටව යන්නැයි ව්‍යාපාරිකයා දන්වා ඇත.
ප්‍රශ්නය නිරාකරණය කරගන්නට ඇය දැරූ ප්‍රයත්නයන් අසාර්ථකවී ඇති අතර ඇයට සම්බන්ධය යළි ගොඩනගාගන්නට හෝ නිවසේ තවදුරටත් රැඳී සිටීමට බැරි තත්වයක් මතුව ඇත.
සිය දුප්පත් නිවසේ නැති සැපදායක පරිසරයක් තිබුණ නවාතැන් ගෙන සිටි නිවස අහිමිවයාම නොඉවසූ තරුණිය ඇගේ නවක පෙම්වතා හා තවත් දෙන්නෙකු සමග කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන්නේ ව්‍යාපාරිකයා බිය කර නිවස ලියාගැනීමටය.
ඒ අනුව කෝටිපති ව්‍යාපාරිකයා මුණගැසීමට අවශ්‍ය බව දන්වා ඔහුට අයත් කැබ් රථයෙන් පැමිණි අවස්ථාවක සැලසුම් සහගතව පිරිස යොදවා ඔහුව පැහැරගන්නට ඇය කටයුතු කර තිබේ.
ව්‍යාපාරිකයාගේම වාහනයේ ඔහු දමාගෙන පැහැරගෙන ගොස් ඇත. කෙසේ වෙතත් නිවස ලියාදීමට ව්‍යාපාරිකයා එකඟ වී නැති අතර එය කොල්ල කල්ලිය සිතු තරම් පහසු කටයුත්තක් වී නැත.


තැත වැරදුණු පසු ඔහුගේ අතේ තිබූ රුපියල් ලක්ෂ 5ක් හා  පවුම් 4 රන් මාලය කොල්ලකා අනියම් පෙම්වතිය ඇතුළු සැකකරුවන් ඔහුව මහ ගම දමාගිය බව කියැවේ.
ව්‍යාපාරිකයාට  පහර දී මහ මග දමා යාමෙන් පසු ඔහු අසල්වාසී උදව්වෙන් පොලිසිය වෙත පැමිණ සිද්ධිය විස්තර කර තිබේ.  කෝටිපති ව්‍යාපාරිකයා දැනට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකකාර අනියම් පෙම්වතිය ඇතුළු සැකකරුවන් සිව් දෙනා ගැන පොලිසියට සැපයූ තොරතුරු අනුව
පෙරේදා (18) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි. 


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාන්තාව සහ 42, 28, 34 යන වයස්වල පසුවන පෑලියගොඩ, කොල්ලුපිටිය, වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.
මේ අය  ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.