අද වනවිට ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Omicron ප්‍රභේදය පිළිබදව සෑමදෙනාම අවධානය යොමුකළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩෝස් අදානොම් ගෙබ්‍රෙයේසුස් පවසයි.
පසුගිය සදුදා දිනයේදී පිනීවා නුවරදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.
ඒ අනුව මේ පිළිබද අවධානය යොමු කරමින් නත්තල් සහ නව අවුරුදු සමයේදී සංවිධානය කිරීමට සැලසුම් කර ඇති උත්සව අවස්ථා අවලංගු කිරීමක් වෙත යොමුවන ලෙසද අධ්යක්ෂ ජනරාල්වරයා ලොව රටවලින් ඉල්ලා තිබේ. "මේ උත්සව අවස්ථා අවලංගු කිරිම ජිවිත අවලංගු කරගන්නවාට වඩා හොදයි කියලයි මම හිතන්නේ. හොදම දේ තමයි දැන් මේ උත්සව සමරලා වැළපෙනවාට වඩා, මේ සැමරුම් කල්දාලා ඒවා පසුව සමරන එක.” යනුවෙන් අදාළාම් මෙහිදී අවධාරණය කර තිබේ. විශේෂයෙන්ම ඉදිරී උත්සව නිවාඩු සමයේදී ලොව බොහෝ රටවල ජනතාව තුළ සිදුවන සමාජ මිශ්රවීම් කැපී පෙනෙන ලෙස ඉහළ යන බව අනිවාර්ය දෙයක් බවත්, ඒ හේතුවෙන් තව ආසාදිතයන් පිළිබද සිදුවීම් ඉහළ යාමක් සිදුවන බවත් ඔහු අනතුරු අගවයි. ඒ අනුව මෙය එම රටවල සොඛ්යා පද්ධතිය වෙත බලපානු ඇති බවත්, එය මරණ ඉහළ යාමටද හේතුවක් වනු ඇතැයිද ඔහු මෙහිදී පවසා තිබේ.
"අපි හැමෝම මේ වසංගතය නිසා බොහෝ මානසික පීඩාවෙන් ඉන්. අපි හැමෝටම මිතුරන් සහ පවුලේ අය සමග වඩා වැඩි වේලාවක් ගත කර වුවමනා වෙලා තිබෙනවා. අපි හැමෝටම ඕනේ ආයිත් පෙර තිබූ සාමාන්‍ය තත්වයට යන්න. හැබැයි ඒ තැනට යන වේගවත්ම මාර්ගය තියෙන්නත් අපි අතරයි. අපේ නායකයන් සහ අපි මේ අසීරු තීරණය අරගෙන, අපේ ජීවිත වගේම අනෙකුත් අයගේ ජීවිතත් වඩාත් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න වෙනවා.” යැයිද අදානොම් මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසන ආකාරයට අද වනවිට මෙම Omicron ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
එසේම එය දැනට COVID-19 මදන එන්නත් ලබාගෙන ඇති සහ එක්වරක් COVID-19 වැලදී සුව අතට පත්වූවන්ටද ආසාදනය වීමේ අවස්ථාවක් පවතින බවත් හඳුනාගෙන තිබේ. එසේම තවත් විශේෂඥයන්ට අනුවද මෙම නව Omicron ප්‍රභේදය සතුව ප්‍රතිශක්තිකරණ හැකියාවන් මගහැරල්වීමේ හැකියාවක් පවතින අතර, දැනට ලබාදී ඇති එන්නත් මාත්‍රාවල බලයද ඉතා බිදෙන බවත් පැවසෙයි. ඒ අනුව ලොව රටවල් සිය ජනතාව අතර සිටින දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ජනතාව ඉලක්ක කරගනිමින් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීමට ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බවද ඔවුන් පවසා සිටියි. මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුවද මේ වසර තුළදී පමණක් මෙම COVID-19 වෛරසය හේතුවෙන් ලොව පුරා මිලියන 3.3ක ජනතාවකට ජීවිත අහිමි වී තිබේ. එය 2020 වසරේදී ලොව පුරා HIV, මැලේරියා සහ ක්ෂයරෝගය යන රෝග හේතුවෙන් මිය ගිය පිරිසට වඩා වැඩි බවත් එහි සඳහන් වෙයි.
0 Comments