යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවී නොමැති බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"ඒක අධිකරණයේ විනිසුරුවරුන්ගේ තීරණයක් නෙමෙයි නේ. නීතිපතිතුමාගේ නියෝජිතයෝ යන්නෙත් එතන නීතිඥයෝ හැටියට. සාමූහික වගකීමකට බැඳෙන්නේ සිදුවුණු දේකට. සිදු නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට එතන සාමූහික බැඳීමකට වගකීමක් නෑ. මෙතන අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බා කියලා අපිට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු."
එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, "වෙනම ගමනක් යන්න සූදානමක් ද මේ තියෙන්නේ ?" යනුවෙනි.
ඊට පිළිතුරු දුන් විමල් වීරවංශ අමාත්‍යවරයා,
"ඒවට කලබල වෙන්න එපා..ඔයගොල්ලන්ට හරි උවමනාවක් තියෙනවා ද ඉක්මනට අපිව එළියට ගන්න. ප්‍රශ්න වුණයි කියලා ප්‍රශ්නයක් නෑ. මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න."
යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ඊයේ (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ බව පවසා තිබුණි.
0 Comments