yana-yaka-korahath-bindagena-yama

ඔන්න ඉස්සර කාලෙ අපේ රටේ දකුණු පළාතෙ ගමක වලව්වක් තිබුණා. මේ වලවෙ හිටියෙ වයසක වලව් මහත්තයයි, එයාගෙ නෝනයි, පුතයි විතරයි. හැබැයි ඉතින්  මේ අයගේ තියෙන නපුරු වැඩ නිසා මේ අය බොහොම දුප්පත් වෙලා තමයි උන්නෙ . ඉතින් මේ ගෙදර අය බොහොම අගහිගකමින් තමයි ජීවත් වුණේ. මෙහෙ ඉඳපු පුතා, ඒ කිව්වෙ, පුංචි හාමුත් වැඩිදුර අධ්‍යාපනය ලබපු  කෙනෙක් නෙවෙයි.  ඔහු ටිකක් මෝඩ පහේ එකෙනෙක්.  ඉතින් ඔවුන්ගේ නැතිබැරිකම් එන්න එන්නම වැඩි වුණා. ඒ නිසා ඒ අය ඒ ගොල්ලගේ වතුපිටි ආදියත් විකුනුවා. ඉන්පස්සෙ ගෙදර තියෙන වටිනා බඩු මුට්ටුත් විකුණන්න පටන් ගත්තා.

ඔය අතර මේ වලවෙ හාමු මහත්තයත්  ලෙඩවෙලා මියගියා. ඉතින් අන්තිමට මේ පරණ දුප්පත් වලව්වෙ ඉතිරි වුණේ වලව්වෙ හාමිනෙයි, පුංචි මහත්තයයි විතරයි.


කොච්චර නැතිබැරිකම් වලින් පෙළුණත් පුංචි හාමුටත් රැකියාවක් නම් ලබාගන්න බැරි වුණා. මොකද ඉතින් එයා මෝඩ, නූගත් කෙනෙක්නෙ . ඒ නිසා මේ දෙන්නා ජීවත් වෙන්න, කෑම එහෙම ගන්න ගෙදර තිබිච බඩු මුට්ටු සේරම සැරින් සැරේට විකුණුවා. අන්තිමට ඉතිරි වුණේ ගෙදර උයා පිහාගෙන කන වළං ටික විතරයි.  ඔය අතරෙ තවත් හරිම කරදරයකට මේ අය පත්වුණා. දන්නවද, මේ පුංචි මහත්තයා හිටි හැටියෙම ලෙඩ වුණා. ඉතින් පුංචි මහත්තයාට කොපමණ බෙහෙත් කළත් ලෙඩේ හොඳ වුණේ නම් නෑ. අන්තිමට කට්ටඩියෙක් ලවා පුංචි   මහත්තයාට තොවිලයක් කරන්න හිතපු හාමිනේ ගෙදර තිබුණු හට්ටි, මුට්ටි ටිකත් විකුණලා මුදල් සොයා ගත්තා. ඔන්න ඉතින් දැන් පුංචි මහත්තයාට තොයිලයක් කරන්නත් ලැහැස්තියි.කපු මහත්තයා තොයිලය පටන් ගත්තා.


 

සෑම දෙයක්ම කරලා අවසානයේ ආතුරයාට වැහිලා ඉන්න යකා ආතුරයාගෙන් අයින්වෙලා ගිය ගමන් ඒ ආතුරයාව මතුරපු පිරිත් වතුරෙන් නාවලා සුදු රෙද්දකින් වහලා තමයි ගෙට ගන්නේ.  ඉතින් අසල ගෙදරකින් වතුර කළයක් ගෙනල්ලා, ඒ වතුර මතුරලා, සුදු රෙද්දකුත් සමග තොයිලය කරන තැන අයිනකින් තියපු කපු මහත්තයා දැන් මේ ආතුරයව (පුංචි මහත්තයව) නටවන්න පටන් ගත්තා. ඔහොම නටන අතරෙ පුංචි මහත්තයාගේ කකුල වැදිලා අර වතුර කළය බිඳිලා  ගියා. ඉතින් දැන් මොකද කරන්නේ?


කට්ටඩියා කීවා ඉක්මනට මතුරන වතුර එකක් ගේන්න කියලා. ඒත් ඉතින්  මේ වෙලාවේ වතුර එකක් ගේන්නවත් මුට්ටියක් නැහැනේ. අන්තිමට ගෙදර ඉතිරිවෙලා තිබුණු අන්තිම භාජනේ වෙච්ච කොරහට වතුර එකක් පුරවලා වලව්වෙ හාමිනේ කට්ටඩියට දුන්නා. කට්ටඩියාත් වතුර එක මතුරා යකා යනකන් බලාගෙන හිටියා. ඉතින් තොයිලෙ අවසානයේ පුංචි මහත්තයාට වැහිලා හිටිය යකා බිල්ලකුත් අරන්ගෙන යන්න ගියා. යකා යනවත් එක්කම කට්ටඩියා පුංචි මහත්තයාව නාවන්න කොරහ ඉස්සුවා විතරයි කොරහ ඔහු අතින් ලිස්සලා වැටිලා බිඳිලා ගියා.  එදා ඉඳන් මේවාගේ සිද්ධියක් දුටු විට අදත් යන යකා කොරහත් බිඳන් ගියා වාගෙයි  කියනු ලබනවා.