An-accident-involving-a-doctor-at-the-Kurunegala-Hospital

කුරුණෑගල ශික්ෂණ රෝහලේ  වෛද්‍යවරයකුට පහරදෙන ලදැයි කියන සිදුවීමට මුල්වූයේ තවත්  වෛද්‍යවරියක සිදුකළ රිය අනතුරක් පිළිබඳව ඇති වූ කතාබහක් දුර දිගයාම බවත් එම අනතුරින් තුවාල ලැබූ තමන් පීඩාවට ලක් කිරීම මිස සහනයක් සැලසීමට කිසිවකුත් ඉදිරිපත් වී නැතැයි මෙම අනතුරින් තුවාල ලැබුවේ යැයි කියන ඉමල්කා ජයවර්ධන මහත්මිය පවසයි. කුරුණෑගල, ජයන්තිපුර පදිංචි ජයවර්ධන මහත්මිය 34 හැවිරිදි තිදරු මවකි. තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව ඇය විස්තර කළාය.  පසුගිය 19 වැනිදා රෑ දහයට විතර මමයි මහත්තයයි මෝටර් බයිසිකලේකින් ඉස්පිරිතාලේ ළඟින් යමින් හිටියේ. ඒ වෙලාවේ වැරදි පැත්තෙන් ආපු කාර් එකක් අපි දෙන්න හප්පාගෙන ගියා. ඒ කාර් එක පදවලා තිබුණේ වෛද්‍යවරියක්.

අනතුරින් අපි දෙන්නම තුවාල වුණා. අපි පාරේ වැටිලා කෑගැහැව්වා අපි ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා.  ඒත් ඒ ගැන කිසිම තැකීමක් නොකර ඒ වෛද්‍යවරිය ඉස්පිරිතාලෙ  ඇතුළට ගිහින් තියෙනවා. ඒ ගැන කතා කරන්න ඉස්පිරිතාලේ ඇතුළට ගියාම එතන හිටපු කට්ටියක් මහත්තයාටයි මල්ලිටයි පහරදීලා තිබුණා.

අපි පස්සේ තමයි මේ  දැනගත්තේ ඒ වෛද්‍යවරුන් කියලා.  ඊට පස්සේ මමයි මහත්තයයි දෙන්නම  කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් වුණා. එතැනටත් ආපු වෛද්‍යවරුන් පිරිසක් මාගේ ඉදිරිපිටම මහත්තයට තර්ජනය කළා. එළියට ආවාම මරනවා කියලා. මම දැන් මගේ දරුවන් තුන්දෙනත් එක්ක තනිවෙලා ඉන්නේ. මගේ මහත්තයාගේ ටිකට් කපන්නේ නැතිව මේ වෙනකම් හොස්පිටල් එකේ තියාගෙන ඉන්නවා. මේ සිදුවීම  නිසා එන පීඩනය ඇත්තටම මට දරාගන්න බැහැ. මේ සිද්ධිය මුල්කරගෙන දොස්තරලා වැඩ වර්ජනය කරනවා. උඝෝෂණය කරනවා. ඒවා මාධ්‍ය වලින් පෙන්නනවා.

පොලිසියෙන් දවසට දහ දොළොස් පාරක් ගෙදරට එනවා. පුදුම තරම් බලපෑමක් තියෙන්නේ.. “මම ඇත්තටම සාමාන්‍ය විදිහට  ජීවත් වෙච්ච කෙනෙක්. මට වෙච්ච අසාධාරණය වෙනුවෙන් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.  මා හප්පපු එකට, මගේ කකුල තුවාල කරපු එකට කිසිම සාධාරණයක් මේ වෙනකම් වෙලා නෑ. මගෙන්  කටඋත්තරයක් ගත්තා විතරයි. ඒ  අනතුර සිදුකරපු වෛද්‍යවරියවත් මේ  වෙනකන් මාත් එක්ක කතා කරලා නැහැ. කොයි පැත්තකින්වත් අපට සහනයක් නෑ. 

ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. රිය අනතුරක් නිසා මේ සිදුවීම වුණා  කියලා කිසිම කෙනෙක් කියන්නේ නෑ.  බීමත් මැරයන් ඇවිල්ලා පහර දුන්නා කියලා තමයි මාධ්‍යයට කියනෙත්. ඒත් අපි මැරයන් නෙමෙයි. මම රජයේ සේවය කරන කෙනෙක්. මගේ මල්ලී රජයේ සේවකයෙක්.  අපි වෛද්‍යවරුන්ට පහර දෙන්න තරම් පහත් තත්වයකට වැටුණු අය  නෙමෙයි. වැදගත් විදිහට ජීවත්වුණු සාමාන්‍ය මිනිස්සු. මේ සිද්ධියෙන් පස්සේ මටයි, මගේ පවුලේ අයගේ ජීවිත ගැනයි ලොකු බයක් ඇතිවෙලා තියෙනවා.


( අජන්ත රත්නායක )

සිද්ධියට අදාළ පෙර ලිපිය
 අහක යන කේස් එකක් නිසා කුරුණෑගල වෛද්‍යවරයකුගේ හිසට ගල් හා සපා කෑම්