Come-to-Tharangani-to-watch-7-movies-for-free-to-celebrate-75-years-of-cinema

ලාංකේය කථානාද සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට සිනමා ගමන් මගෙහි සන්ධිස්ථාන බවට පත්වූ චිත්‍රපට 7ක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මෙම මස 10 වැනිදා සිට 16. වැනිදා දක්වා දිනපතා සවස 5.00 ට නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවි ප්‍රසාද් කළුපහන මහතා පැවසීය.

මෙම සැමරුම් ජනවාරි 21 වැනිදාට යෙදී ඇති බව ද ඔහු සඳහන් කළේය.මෙම සැමරුම් උළෙලට සමගාමීව පවත්වන චිත්‍රපට ප්‍රදර්ශන සතිය යටතේ ලබන 10 වැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්‍ෂණය කළ 'ගොළු හදවත', 11 වැනිදා ආචාර්ය තිස්ස අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ 'විරාගය', 12 වැනිදා වසන්ත ඔබේසේස්කර මහතා අධ්‍යක්‍ෂණය කළ 'වල්මත්වූවෝ", 13 වැනිදා එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්‍ෂණය කළ 'සිකුරුලියා', 14 වැනිදා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ "ගැහැණු ළමයි', 15 වැනිදා ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්‍ෂණය කළ 'සුද්දිලාගේ කතාව' සහ 16 වැනිදා ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්ෂණය කළ 'බඹරු ඇවිත්" යන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.



 ‘සුද්දිලාගේ කතාව' චිත්‍රපටයේ මිලිමීටර 35 සංරක්‍ෂණය කළ පිටපතක් මෙහිදී ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද රවි ප්‍රසාද් කළුපහන මහතා කීත්වේ. . එමෙන්ම මෙම සැමරුම් යෙදී ඇති ලබන 21 වැනිදා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උළෙලක් ද ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන බව ඔහු පැවසීය.මෙහිදී 75 වසරක සිනමාව පිළිබඳ සැමරුම් දේශනය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක හා රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා විසින් පවත්වන අතර චිත්‍රපට සංස්ථාවේ ඉතිහාසය පිළිබඳ සමරු දේශනය එහි මුල් සේවක මඩුල්ලේ හිටපු කළමනාකරුවකු සහ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා විසින් පැවැත්වීමට නියමිතය.



සමරු මුද්දර දෙකක් එළිදැක්වීම, ලාංකේය සිනමාවට සුවිශේෂී දායකත්වයක් දැක්වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඇගයීම, ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් 25 දෙනකුට අලුතින් විශ්‍රාම වැටුප් ප්‍රදානය, පැරණි චිත්‍රපටවල දර්ශන වත්මන් ශිල්පීන් සම්බන්ධ කරගනිමින් රඟදැක්වීම ඇතුළු කටයුතු රැසක් මෙම සැමරුම් උළෙලේ දී සිදුවන බව ද කළුපහන මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම ජාතික චිත්‍රපට සංස්ථාවේ ආචාර්ය ධම්මික දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහත්වරු සහ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියද මෙහිදී අදහස් දැක්වූහ.

(ඩයනා උදයංගනී)