Husband-who-went-diving-in-Dehiwala-sea-caught-a-crocodile-Friend

මෙරට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තයේ සහ මෙරට ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන ධීවර කර්මාන්තයේ පැවැත්මට  වෙරළාශ්‍රිතව කිඹුලන් ගැවසීම බරපතළ තර්ජනයක් බැවින් අනතුර සිදු කළ කිඹුලා අල්ලා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙසත් මෙවන් අනතුරු ඉදිරියේදී සිදු නොවීමට බලධාරින් වහා දැනුවත්කර සුදුසු පියවර ගන්නා ලෙසත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය. හදිසි මරණ පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා මේ බව කියා සිටියේ ඉකුත් 03 වැනිදා දෙහිවල මුහුදු තීරයේදී විසිතුරු මසුන් අල්ලමින් සිටියදී කිඹුලකුගේ ග්‍රහණයට හසුව මරණයට පත් වූ කිමිදුම්කරුවකුගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දෙමිනි.  මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන වීරසේන සිල්වා මාවතේ, අරලිය නිවාස, අංක එෆ් 5 හි පදිංචි කිල්ලපනගේ සෝමසිරි පීරිස් (56) නමැති කිමිදුම්කරුවෙකි. මොහු ඉකුත් 03 වැනිදා උදැසන දෙහිවල දුම්රියපළ  පිටුපස ගොඩගල අසල මුහුදු කලාපයේ විසිතුරු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ කිමිදෙමින් සිටියදී කිඹුලකුගේ ග්‍රහණයට හසුව අනතුරකට ලක්විය.




අනතුරින් මියගිය කිමිදුම්කරුගේ වම් අතෙහි උරහිස සහ වැලමිට අතර සිරුරේ ස්ථාන කිහිපයක සිදුරු වූ තුවාල කැළල් කිහිපයක් දක්නට තිබූ අතර වම් අත බිඳී ගොස් තිබුණි.  තවත් කිමිදුම් කරුවන් කිහිප දෙනකුගේ ආධාරයෙන් මොහු කිඹුලාගෙන් මුදවාගෙන ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී මියගියේය.  මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් (04) දා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකෙරිණි. මෙහි පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.ඇන්.ටී.ඇම්.  බොරුක්ගම මහතා විසින් ලබාදී තිබුණි. එහිදී සාක්කි දෙමින් මියගිය කිමිදුම්කරුගේ බිරිඳ වන ලක්මි පෙරේරා (52) මහත්මිය මෙසේ කීවාය.


මියගොස් සිටින්නේ මගේ සැමියා. මීට වසර  තිහකට පමණ පෙර අපි විවාහ වුණා. අපට එක දරුවෙක් ඉන්නවා. අපි ජීවත් වුණේ විසිතුරු මසුන් අලෙවි කිරීමේ ව්‍යාපාරයකින්. මා සමඟ විවාහ වීමටත් පෙර සැමියා එම රැකියාවේ නියැළී සිටියා. දෙහිවල මුහුදේ තමයි රැකියාව කළේ. මුහුදේ කිමිදෙමින් මේ විසිතුරු මසුන් ඇල්ලුවේ. ඒ සඳහා සැමියා ඔක්සිජන් ටැංකි භාවිතා කළේ නැහැ. කිමිදුම් ඇඳුමක් සහ ඒ සඳහා අවශ්‍ය පා වරල් පමණයි භාවිතා කළේ.  සුපුරුදු පරිදි 03 වැනිදා උදෑසන රැකියාවට ගියා. දවල් 12 පමණ ගෙවල් ළඟ හිතවතෙක් ඇවිල්ලා මට කිව්වා මගේ සැමියාට කිඹුලෙක් පහර දීලා කළුබෝවිල රෝහලට රැගෙන ගියා කියලා. ඒ අනුව සැමියාගෙ නංගිත් සමග මම කළුබෝවිල රෝහලට  ගියා. එහිදී වෛද්‍යවරුන් මට කීවා සැමියා  කිඹුලකුගේ පහරදීමකින් මියගොස් ඇති බව.  මරණය පිළිබඳව මට සැකයක් නැතැයි ඇය කීවාය.  


වෘත්තියෙන් කිමිදුම්කරුවකු වන දෙහිවල දුම්රියපොළ පාරේ කන්නිපුනිගේ නන්දන කුෂාන්ත (52) මහතා සාක්කි දෙමින් මෙසේ කීය.




දැනට වසර 33ක සිට කිමිඳුම් රස්සාවේ මා යෙදී  සිටිනවා. මගේ නිවෙස පිහිටා තිබෙන්නේ අනතුර වූ ස්ථානයට ආසන්නයේයි. පසුගිය 3 වැනිදා දහවල් 11 ට පමණ මෙම නිවස අසල රැඳී සිටියදී පුද්ගලයකු කිඹුලකු ඩැහැගෙන ගොස් ඇති බවට හිතවතකු මාර්ගයෙන් දැන ගත්තා. ඒ අනුව මම තවත් පිරිසක් සමග එම ස්ථානයට ගියා. ඒ යද්දී කිමිදුම්කරුවන් භාවිතා කරන පාද ආවරණයක් වෙරළේ සිට මීටර් සීයක් පමණ දුරින් මුහුදේ පාවෙනව දැක්කා. ඒ ආසන්නයේම කිඹුලෙකුද සිටිනවා දැක්කා.   ඒ අනුව ක්ෂණයකින් මමත් තව කීප දෙනකුත් ඒ අසල නවතා තිබූ බෝට්ටුවක් රැගෙන කිඹුලා රැදී සිටින ස්ථානයට ගියා. එවිට අඩි පහළොවක් පමණ දිගින් යුත් කිඹුලකු පුද්ගලයකු කටින් අල්ලාගෙන ඉන්නව දැක්කා. අපි කිඹුලා ඉන්න තැනට එකවරම ගියේ නැහැ මොකද අපේ බෝට්ටුවක් පෙරළලා අනතුරක් කරයි කියලා සැක සිතුණු නිසා. හෙමින් හෙමින් බෝට්ටුව කිඹුලා ආසන්නයටම ගිහින් බෝට්ටුවේ ඇන්කර් එක කිඹුලගේ සිරුරට දැම්මා. ඒත් පැටළුණේ නැහැ. ඒ සමගම කිඹුලා අර පුද්ගලයාත් රැගෙන විනාඩි දහයක් පමණ දිය යටට ගොස් නැවත මතු වුණා. ඒ සමග නැවතත් බෝට්ටුව කිඹුලා සිටින ස්ථානයට ගොස් නැවත වරක් ඇන්කර් එක දැම්මා. ඒ අවස්ථාවේදී ඇන්කර් එකට කිඹුලා හිර වුණා. ඒ සමගම දියඹ දෙසට වේගයෙන් බෝට්ටුව ධාවනය කළා. එහිදී අල්ලා සිටි පුද්ගලයා කිඹුලාගෙන් අතහැරුණා. ඒ සමගම ක්ෂණයකින් ක්‍රියාත්මක වී අනතුරට පත් පුද්ගලයා අපි බෝට්ටුවට පටවාගෙන ගොඩබිමට රැගෙන ආවා. එම අවස්ථාවේදී තමයි දැනගත්තේ අනතුරට ලක්ව සිටින්නේ කිමිදුම් රස්සාවේ යෙදෙන ජයන්ත බව. ඒ වනවිට ජයන්තගෙන් නහයෙන් සුදු පාට සෙම වැනි යමක් පිටව මුහුණේ පැතිරී තිබුණා. ප්‍රතිකාර සඳහා ජයන්ත කළුබෝවිල ශික්ෂණ  රෝහලට ඇතුළත් කළා. පසුව වෛද්‍යවරුන් පැවසුවේ ජයන්ත මියගොස් ඇති බවයි.




මෙහිදී මියගිය පුද්ගලයාගේ සහෝදරියක වන කිල්ලපනගේ ඉන්ද්‍රානි පීරිස් මහත්මිය ද සාක්ෂි දුන්නාය. ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව මරණයට හේතුව මුහුදේ දී කිඹුලකුගේ ග්‍රහණයට හසුවීමෙන් මුහුදු දියේ ගිලී සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ  පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.  මෙහිදී හදිසි මරණ පරීක්ෂකවරයා පශ්චාත් මරණ ප ණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් මෙසේද කීය.  මෙරට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තයේ සහ මෙරට ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන ධීවර කර්මාන්තයේ පැවැත්මට  වෙරළාශ්‍රිතව කිඹුලන් ගැවසීම බරපතළ තර්ජනයක් බැවින් අනතුර සිදු කළ කිඹුලා අල්ලා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යොමු කරන ලෙසත් මෙවන් අනතුරු ඉදිරියේදී සිදු නොවීමට බලධාරීන් වහා දැනුවත් කර සුදුසු පියවර ගන්නා  ලෙසත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.


 -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-