Will-Ranjan-be-pardoned-on-Independence-Day---Nissanka-Senadhipathi-coordinates-to-the-President
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත වසරකට වැඩි කාලයක් සිරගතකර සිටින සිනමා නළු හා දේශපාලක රන්ජන් රාමනායක මහතාව ලබන 04 වැනිදාට යෙදෙන නිදහස් දින ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරගැනීමේ අරමුණින් කණ්ඩායම් කිහිපයක් සටනට බැස තිබේ.



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් මේ ගැන නැවත ඉල්ලා සිටිමට අවැන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාව කලාකරුවන් පිරිසක් හමුව ඇති අතර ඔහු පනිවිඩය ජනපති වෙත ගෙනයාමට සම්බන්ධීකරණ කටයුතු කරන බව කියා සිටියේය.



 ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සිරගත කිරීමෙන් පසු මෙරට සිනමා කර්මාන්තයට මරු පහරක් එල්ල වූ බවයි.
‘රන්ජන් මිනී මැරුම් කරලා අපරාධ කරලා සොරකම් කරලා වැරදි කරලා නැහැ. ඔහු දුරදිග නොබලා කළ ප‍්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් වුණා. මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට සමාවක් දීමට කටයුතු කළහොත් ඒක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙන්ම වර්තමාන රජයටත් විශාල මහජන ප‍්‍රසාදයක් හිමිවන කටයුත්තක් වෙනවා‘ ඇය කියා සිටියාය.

 පෙබරවාරි මස 04 වෙනිදා ජනාධිපතිවරයාගේ සමාව යටතේ රන්ජන් නිදහස් කරන මෙන්  විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට යොමු කිරීමට අත්සන් කිරීම පසුගියදා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ සිදුකර තිබුණි.

මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් භාරදීමේ වගකීම  ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති භාරගෙන තිබේ.



නළු නිළියන් තිහක් පමණ මෙයට එක්ව ඇති අතර ඊට මූලිකත්වය ගත්තේ අර්ජුන කමලනාත්, දිල්හානි අශෝකමාලා, කමල් අද්දරආරච්චි, ගීතා කුමාරසිංහ යන කලාකරුවන්ය.

නිශ්ශංක සේනාධිපති මෙසේ ප්‍රකාශ කළේය.  “වත්මන් ආණ්ඩුව කිසි කෙනෙක්ව වැරදි  නොකර අනවශ්‍ය දේවල්වලට හිර කරන්නවත්  හිරේ අරින්නවත්  ගිහිල්ලත් නෑ. අපිට රන්ජන් සමග කිසි ප්‍රශ්නයකුත් නෑ. මා දන්න හැටියට මේ රජය එහෙම එක එක්කෙනා පස්සෙ එළවන්නෙ නෑ. “

“ඔගොල්ලො ඉල්ලන් ආපු ඉල්ලීම ගැන මා අදාල බලධාරීන්   දැනුම්වත් කරනවා. ගරු ජනාධිපතිතුමාව දැනුම්වත් කරනවා. එතුමාව ඔබතුමාලට හම්බවෙන්න අවස්ථාවක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. මම මේ දීපු පෙත්සම අනිවාර්යයෙන් ගරු ජනාධිපති තුමාට ඉදිරිපත් කරනවා.  දවස් දෙකක් තුනක් විතර ඇතුළත.“