ඩුබායි රාජ්‍යයේ සිට මුහුදු මගින් මෙරටට තොග වශයෙන් හෙරොයින් ගෙන්වීමේ ජාවාරමක නිරත බව කියන දකුණේ කෝටිපති හෝටල් හිමියකුගේ ප්‍රධාන ගෝලයකු ඇතුළු පස් දෙනකු රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් හා රුපියල් ලක්ෂ 40 ට අධික රන් බඩු, පිස්තෝලයක්, චන්ද්‍රිකා තාක්ෂණ දුරකතනයක්, ජංගම දුරකතන තුනක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම හෝටල් හිමිකරුගේ ගෝලයා බහුදින යාත්‍රා නියමුවකු වන පුද්ගලයකු බවත් රුපියල් ලක්ෂ 50 ක අධික මුදලක්,
ග්‍රෑම් 377 ට අධික බරින් යුත් රන්බඩු, හෙරොයින් ග්‍රෑම් 10 ක් හා ජංගම දුරකතනයක් ඔහු ළඟ තිබී අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.විශේෂ කාර්ය බළකාය තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ඉකුත් 4 වැනිදා සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෝටල් හිමියා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවූ බවත් හෝටල් හිමියා අත්අඩංගුවට ගැනීම සඳහා තෙලිකඩ, ගෝනාපීනුවල නිවසට ගිය අවස්ථාවේ සැකකරු නිලධාරීන් පැමිණෙන බවට සැලවීමත් සමග පලාගොස් ඇති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවස නිලධාරීන් විසින් සෝදිසි කිරීමේ දී එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක්, සුබෝපභෝගී වෑන් රථයක්, චන්ද්‍රිකා තාක්ෂණෙය සහිත සැටලයිට් දුරකතනයක්,
ජංගම දුරකතන දෙකක්, අත්අඩංගුවට ගත් බවත් ඒ අවස්ථාවේ නිවසේ සිටි ඔහුගේ (60) හැවිරිදි පියා ද අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බළකා ප්‍රකාශකයෙක් කීය. දැනට බුඩායි හි සැඟවී සිටින දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක්කටා නමැත්තා විසින් මෙරටට එවන ලැබූ හෙරොයින් කිලෝ 290 ට ආසන්න තොගය ඉකුත් දෙසැම්බර් මස 18 දින හෝ ඊට ආසන්න දිනක හෝටල් හිමියාගේ මෙහෙයවීමෙන් බහුදින යාත්‍රාවකින් කුඩාවැල්ල මුහුදු ප්‍රදේශයට ගෙනැවිත් ඇති අතර එම යාත්‍රාවේ නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින (32) හැවිරිදි සැකකරු බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
ජාවාරම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරකට අනුව විශේෂ කාරිය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකක 1 හි නිලධාරීන් කණ්ඩායමක් එම මක්කුඩු සොයා ඉකුත් (4) දින තංගල්ල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර ඇති අතර එහි මෙහෙයුමේ දී ඉහත බහුදින යාත්‍රාවේ නියමුවා තංගල්ල සීනිමෝදර, කොස්කොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුගේ නිවස පරික්ෂ කිරීමේ දී එහි තිබී රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා ග්‍රෑම් 377 ක් බර රන් බඩු හා ලක්ෂ 50 ට අධික මුදල් හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
රන්බඩු අතර විවිධ බරවලින් යුත් රන් මාල 4 ක්, රන් පෙන්ඩන්ට් 8 ක්, අත් පලඳනා 3 ක්, රන් මුදු 3 ක්, කරාබු ජෝඩුවක් තිබූ බව ද පවසයි. හෙරොයින් කිලෝ 290 ක තොගය බහුදින යාත්‍රාවෙන් මෙරටට රැගෙන ඒම සඳහා මෙම සැකකරුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ජාවාරම්කරු විසින් ලබා දී ඇති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒම සඳහා එදින නියමුවා සමග බහුදින යාත්‍රාවේ ගමන් ගත් තවත් සැකකරුවන් තිදෙනකු මාතර පොලිසියේ පොලිස් කණ්ඩායමක් මගින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.පලාගිය හෝටල් හිමියා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (6) මෙහෙයුමක් ආරම්භ කළ බවද විශේෂ කාර්ය බළකාය පවසයි.විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, විශේෂ මෙහෙයුම් ඒකක (1) හි පොලිස් පරික්ෂක එච්.වී.එල්. විජේරත්න මහතා ඇතුළු නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
(ඉන්දිකා රාමනායක)
0 Comments