දාහතර හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට අඹුකමට තබාගත් විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. දාහතර හැවිරිදි බාල වයස්කාර දැරිය සමග මුහුණු පොත හරහා මිතුරු වී ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු ඉකුත් 10දා ඇය හමුවීමට දැරියගේ ගම් ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත.එහිදී සැකකරු දැරිය රවටා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් දින දෙකක් එහි තාවකාලික නවාතැන් පොළක රඳවාගෙන හිඳ පසුව ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කීය.පසුව දින කිහිපයක් එහි රැඳී සිට කොළඹ ප්‍රදේශයේ නේවාසිකාගාරයකට රැගෙන විත් දැරිය එහි සගවාගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කළේය. දැරියගේ අතුරුදන් වීම පිළිබඳ ඇයගේ මව්පියන් දැරියගේ ගම් පළාතේ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද පොලිසිය කීය.  එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකරමින් සිටියදී දැරිය මහරගම පොලිස් වසමේ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව සිද්ධිය මහරගම පොලිසිය දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව සිදුකළ වැටලීමකදී නේවාසිකාගාරයක රැඳී සිටි දැරිය සහ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය. පසුව 14 හැවිරිදි පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කළ බවත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂක එරන්දි මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරේ.


( මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)