borella-all-saints-bomb

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවමක් අසල තිබියදී ඊයේ (11) අත්බෝම්බයක් සොයාගෙන තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.
දේවස්ථානයට ඇතුළුවන ප්‍රධාන දොරටුවට දකුණු පසින් පිහිටි සුරුවම අසල මෙම බෝම්බ ඇටවුම තිබී ඇති අතර එය ඊයේ සවස මුලින් දැක ඇත්තේ දේවස්ථානයේ රැදී සිටි පිරිසකි.


දේවස්ථානයේ සේවකයෙකු විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් මත මෙම අත්බෝම්බය ගැන විස්තර  හමුවිය.
අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පරීක්ෂණ අරඹන ලදි.
මෙම අත්බෝම්බය නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී මෙයට පෙර සොයාගත් බෝම්බ ඇටවුමට සමාන බවත් මදුරු දගරයක් වෙනුවට හදුන් කූරකින් මෙය පුපුරා යන්නට සූදානම් කර තිබූ බවත් හෙළිව ඇත.
 පින් එක ඉවත්කර එහි අගුල සිරකර රබර් පටියක් බෝම්බය වටා ඔතා එම රබර් පටිය වටා ගිනිකූරු රැසක් සිරකර තිබී ඇත. හදුන්කූර දැල්වී ගොස් ගිනි කූරුවලට ගිනි ඇවිලී රබර් පටිය දියවී අගුල් ලිහිල් වීමෙන් බෝම්බය පුපුරා යන්නට අටවා තිබුණි.
මෙවැනි ඇටවුමක් කිරීමට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මනා පුහුණුවක් අවශ්‍ය බවත් ඇටවුම කරන පුද්ගලයාට දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතු බවත් විශේෂඥයන් පවසා තිබේ.
දේවස්ථානයේ ආරක්ෂක කැමරා පද්ධතියක්ද තිබෙන අතර එම ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලීසිය ඒ වන විට දේවස්ථානයේ රැදී සිටි තිදෙනෙක් ප්‍රශ්න කිරීමට සිය භාරයට ගෙන තිබේ. ඒ අය අතර මෙම බෝම්බය සුරුවම අසල තිබෙන දුටු අයද සිටින බව පොලීසිය කියයි.


සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.
පොලිස් භාරයේ රදවා සිටින එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් බරපතල සැකයක් මේ වන විට ඇතිවී තිබෙන අතර ඔහු පොලිතින් බෑගයක ඔතාගෙන පැමිණි යමක් තවත් අයෙකුට ලබාදෙන ආකාරයක් සහ එය සුරුවම අසල තවත් අයෙක් තබන අයුරු එම ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බවද හෙළිව ඇත.
තවත් සැකකරුවෙක් අවුරුදු 18 ක් තිස්සේ දේවස්ථානය හා සම්බන්ධව සිටින දේවස්ථානයේ පිහිටි දහම් පාසලේද ගුරුවරයෙක් බව පොලීසිය කියයි. එම සැකකරු මරදානේ පදිංචිකරුවෙකි.
විමර්ශන දීර්ඝ වශයෙන් සිදුවේ.