බොරැල්ල මරදාන පාරේ පිහිටි රන් බඩු හලකට කඩා වැදී වෙඩි තබා එහි තිබූ ලක්ෂ 5ට ආසන්න රන් බඩු කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ පෙරවරුවේ නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකරු 2019 වසරේ සිට ඝාතනයකට හා කොල්ලකෑම් 6කට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවද පොලිසිය පවසයි. ඉකුත් දෙසැම්බර් මස 11 වැනි දින මෙම සැකකරු තවත් සැකකරුවකු සමග බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු හලට කඩා වැටී වෙඩි තබා එහි තිබූ පවුම් 35ට ආසන්න රන් බඩු කොල්ලකා පලාගොස් තිබිණි. සැකකරු මෙම කොල්ලය සඳහා භාවිත කළ 3.8 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
බොරැල්ල රන් බඩු හල කොල්ල කෑම සඳහා භාවිත කළ යතුරු පැදිය කිරිඇල්ල ගොරකාඇළ හංදියෙන් කළු ගඟට දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එය දෙසැම්බර් මස 09 වැනි දින කෑගල්ල ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවද පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු කුරුවිට, කොස්පනාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකු බවත් ඔහු පෙදරේරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවද පොලිසිය පවසයි. මොහු නවගමුව දේවාලය ආසන්නයට පැමිණ සිටින බවට බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (84762) කුමාර මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ පෙරවරුවේ නවගමුව හංදියේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ප්‍රශ්න කිරීමේදී රන්බඩු හල කොල්ලකෑම සඳහා භාවිත කළ ගිනි අවි දෙක රැගෙන යාම සඳහා ඔවුන් රැඳී සිටින නවගමුව මේධානන්ද මාවතේ කුලී නිවසට පැමිණ බවට තොරතුරු හෙළිවී ඇති අතර එම තොරතුරු අනුව එම නිවස පිටුපස වැලිගොඩක සඟවා තිබූ ගිනි අවි දෙක සොයාගත් බව පොලිසිය කියයි.
බොරැල්ල රන් බඩුහලින් කොල්ලකෑ රන් බඩු අතර මාල 6ක්, සැකකරුගේ කුරුවිට, කොස්පනාව ප්‍රදේශයේ නිවස පිටුපස වළදමා තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සෙසු රන් බඩු සැකකරුගේ බිරිඳ හා තවත් කාන්තාවක් විසින් විවිධ ප්‍රදේශවලට උකස් තබා ඇති බවද පොලිසිය පවසයි. 2019 අප්‍රේල් මස 4 දින ගිනි අවි පෙන්වා නවගමුව ප්‍රදේශයේ රන් බඩු හලකින් ලක්ෂ 13ක රන් බඩු කොල්ලකෑම, අප්‍රේල් 2 දින නවගමුව කොතලාවල අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ඉන්ධන හලකින් රුපියල් 40,000ක් කොල්ලකෑම, 2019 ජූනි මස 25 වැනි දින කැලණිය වරාගොඩ ප්‍රදේශයේ රන් බඩුහලක් කොල්ලකෑමට පැමිණ එහි හිමිකරු සමග පොරබදා ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම.
2021 දෙසැම්බර් මස 05 වැනි දින මීගොඩ ප්‍රදේශයේ වෙළඳසලකට කඩා වැදී කාන්තාවකගේ රන්මාල, අත්පළඳනා, රන් මුදු ඇතුළු රුපියල් ලක්ෂ 3ට ආසන්න රන් බඩු කොල්ලකෑම, ඉංගිරිය ප්‍රදේශයේ වෙළඳසල් දෙකක් කොල්ලකෑම, කෑගල්ල ප්‍රදේශයේ යතුරුපැදියක් කොල්ලකෑම සැකකරුට එරෙහිව දැනට අනාවරණය කරගෙන ඇති අපරාධවලින් කොටසක් බවද පොලිසිය පවසයි. කොල්ලකරුවන් මොහු ගිනි අවි දෙන ගිනි අවි එල්ල පෙන්වා ඉංගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් මීට මාස 3ට පෙර ඇප ලබා සිටියදී මෙම කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට ආධාර අනුබල ලබාදීම, ඔත්තු බැලීම, රන්බඩු උකස් තැබීම සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ ඇතුළු කාන්තාවන් තිදෙනකු හා තවත් පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇත. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
ඉන්දිකා රාමනායක
0 Comments