kadinal-thera-speaks


කොපමණ බලය තිබුණත් දේශපාලන පක්ෂ හා  නායකයන් දිනක දිය වී යන්නාක් මෙන් ඔවුන්ගේ න්‍යායධර්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් සත්‍යය සගවන මාධ්‍ය ආයතන ද දිනෙක දිය වී යනු ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරදගුරුතුමෝ පෙරේදා (29 වැනිදා) පැවැසූහ. කොපමණ බලය ඇති අය වුවත් දිනක දිය වී පස්, දූවිලි, අළුවලට හැරෙන බව කී  අගරදගුරුතුමෝ, යම් සිදුවීමක් වූ විට රජයේ හා විරුද්ධ පක්‍ෂවල අර්ථකථනය පමණක් සත්‍යය යැයි ප්‍රකාශ කරන මාධ්‍යයන් ද වැඩි කල් ඔරොත්තු නොදෙන බව කීහ.



වර්තමානයේ ඇතැම් මාධ්‍ය ආයතන පාලනය වන්නේ රට පාලනය කරන අයගේ චින්තනය අනුව බව කී අගරදගුරුතුමෝ, එම මාධ්‍ය සැබැවින්ම සත්‍යය හෙළිදරව් කරනවා ද යන්න ගැටලුවක් බව සඳහන් කළහ.  අගරදගුරුතුමන් මේ බව පැවැසුවේ, කිතුනු  රූපවාහිනී නාලිකාවක් වන ‘වර්බුම් ටී.වී.' ආයතනයේ 7 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති දේ මෙහෙයේදීය. මාධ්‍යයේ වගකීම සත්‍යය සොයා ජනතාව දැනුවත් කිරීම බවත්, දේශපාලන පක්‍ෂවල  න්‍යායධර්ම හෝ මාධ්‍ය පාලකයන්ගේ න්‍යායධර්ම  අනුව මාධ්‍ය මෙහෙයවීම අසාධාරණයක් බවත්  කොළඹ අගරදගුරුතුමෝ කීහ.  වර්තමානයේදී ඇක්ත ප්‍රකාශයට පත්කරන නිදහසක් මාධ්‍යවේදියාට නැතැයි කී  අගරදගුරුතුමෝ, කතුරකින් කපා තමන්ට සුදුසු  දේ පමණක් පළ කෙරෙන බවත් පැවැසූහ.

ආණ්ඩුවට හොරණෑ පිඹින අය රජයේ මාධ්‍ය මෙහෙයවීම මිනිස් සමාජයට කරන අගෞරවයක් බවත්,

ඇත්ත බොරුව කරමින් නිෂ්පාදනය කරන වාර්තා නිසා මිනිසුන්ගේ මනස විකෘති කර සමාජයේ ගැටලු ඇතිකරවන බවත් අගරදගුරුතුමෝ කීහ.   රජයක්, විරුද්ධ පක්ෂයක් හෝ තවත් කණ්ඩායමක් ඇත්ත වසා බොරුව රජ  කරවන්නට කටයුතු කරනවා නම්, එය එළියට  දැමීම මාධ්‍යයේ සැබෑ වගකීම විය යුතු බවත්, ජනතාවට සත්‍යය ප්‍රකාශ කරන්න බිය නොවිය යුතු බවත් එතුමෝ සඳහන් කළහ. කවදා හෝ සත්‍යය එළි වූ විට සත්‍යය බොරු කළ අයගේ නිරුවත දකින්න ලැබෙන නිසා, ඇත්ත වෙනුවෙන් නොබියව පෙනී සිටින්නැයි තමන්  මාධ්‍යකරුවන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන්  ඉල්ලා සිටින බව මැකම් කාදිනල් රංජිත්  කොළඹ අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවැසූහ.

-ඩයනා උදයංගනී