covid-to-international-school-student-who-escaped-from-Bambalapitiya-apartment

ඉකුත් සිකුරාදා (28) දින සවස බම්බලපිටිය ක්‍රෙසන්ට් පටුමගේ සුඛෝපභෝගී අට මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු මියයාමේ සිද්ධියක් වාර්තා විය.
ධනවත් ව්‍යාපාරික පවුලක එකම දරුවා වූ රාජා අභිලාෂ් නමැති මෙම සිසුවා සිද්ධිය වූ දිනයේ පාසල් ඇරී නිවාස සංකීර්ණය වෙත එන අයුරු හා ටික වේලාවකට පසු ඉහළ මහළින් පහළට වැටෙන අයුරු සීසීටීවී දර්ශනද හමුවී තිබේ.
සිසුවාගේ නිවාස ඒකකය පිහිටා තිබී ඇත්තේ 5 වන මහළේය.

පස්වරු 3.00ට පමණ ත්‍රිරෝද රථයකින්  ඔහු පාසල් ඇරී නිවසට ආවත් නිවසේ එම අවස්ථාවේ කිසිවෙකු සිට නැති අතර ඔහු අනතුරුව 8 වන මහළ දක්වා තවත් මහළ් 3 ක් ඉහළට ගමන් කර තිබේ.
නිවාස සංකීර්ණය මුදුනට ගොස් ඔහු බිමට වැටෙන අතර ඔහු පැන්නාද නැතිනම් කිසිවෙකු ඔහු තල්ලුකර තිබෙද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.
 බම්බලපිටිය පොලීසිය පවසන්නේ නිවාස සංකීර්ණයේ මහල් හතක නිවාස තිබී ඇති බවත් 8 වැන්න හිස්ව තිබී ඇති බවත්ය.
සිසුවා විදුලි සෝපානයට නැගී ඉහළට ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති අතර, ඉහළට ගොස් ඉතා කෙටි කාලයකින් ඔහු බිමට වැටෙන අයුරු ද සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී තිබී ඇත.
බිමට වැටෙන සිසුවා ඉතා වේදනාවෙන් ලේ ගැලුම් තුවාල සහිතව වැතිර සිටි බවත්  නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය පොලීසියට හා ඔහුගේ පියාට දැනුම් දී අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් පැවසේ.

සිසුවා  කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද අධික ලේවහනය මත  සුලු මොහොතකින් මියගොස් ඇති බව පොලීසිය කියයි.
පස්වැනි මහලේ පිහිටි නිවෙසට සිසුවා යන විට නිවසේ කිසිවකු සිට නැති බවත්, සිසුවාගේ මව ද නිවෙසින් බැහැරව ගොස් සිට ඇති බවත්  නිවාස සංකීර්ණයේ ඉහළ මහලවල සී. සී.ටී.වී. කැමරා සවි කර නොමැති නිසා සිසුවා ඉහළ තට්ටුවේදී කවර හැසිරීමක නිරතවූයේද යන්න සාක්ෂි නැති බවත් පොලිසිය පවසා ඇත.
 කොළඹ ජාතික රෝහලේදී ඊයේ (30) සිසුවාගේ සිරුර ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කළ අවස්ථාවේ ඔහු කෝවිඩි ආසාදනයවී ඇති අයුරු හඳුනාගත් අතර පශ්චාත් පරික්ෂණයෙන් පසුව මවුපියන් වෙත සිරුර බාර නොදී භූමදාන කටයුතු සිදු කිරීමට  නියමිතව තිබේ.
ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පැවති බවත් හෝ නිවැසියන් දැන සිට නැත. මෙම සිසුවාගේ දෙමාපියන්ගේ සාක්සි අනුව සිසුවාට මෙලෙස දිවි හානිකරගන්නට කිසිදු හේතුවක් තිබී නැත. කොරෝනා රෝග තත්වය මත ඔහුගේ මානසික තත්වය විකෘතියකට ලක්ව හැසිරුණිද යන්න ගැනත් පරීක්ෂණයක් සිදුවේ.