dadoria-suruttuwa-story

එක් ගමක වාසය කළ බල්ලන් දෙදෙනෙකි, දඩෝරියා හා සුරුට්ටුවා. දඩෝරියා එක ගෙදරක සිටි මහත ශරීරයක් ඇති බල්ලෙකි. ඌ ගෙදර හා වත්ත බලාගෙන ගෙදරටම වී සිටියේය. සුරුට්ටුවාට නියමිත වාසස්ථානයක් නැත. ගෙදරකින් යමක් සොරාගෙන කෑම හා ගමේ අනිත් බල්ලන් සමග දබරයට යාම උගේ සිරිතකි. ඌට ඉතා කෙට්ටු ශරීරයකි, තිබුණේ.

 දිනක් දඩෝරියා හමුවූ සුරුට්ටුවා අල්ලපු ගමට යාමට කථා කළ නමුත් දඩෝරියා අකමැති විය. අල්ලපු ගමේ සරුසාර බව, කෑම ගැන සුරුට්ටුවා බොහෝ වර්ණා කිරීමෙන් පසු එම ගමට යාමට දඩෝරියා කැමැති විය.

එක් උදෑසනක දෙදෙනා ගමනට පිටත් වූහ. ටික වේලාවකට පසු එම ගමට ඒමට බල්ලන් දෙදෙනාට හැකි විය. මුලදීම එම ගමේ බල්ලෙක් හමු විය. සුරුට්ටුවා දත් විළිස්සා ඌ හපා කෑමට සැරසුණි. දඩෝරියා වලිගය පස්ස කකුල් දෙක අස්සේ ගසාගෙන බයාදු ගතියක් පෙන්වීය. එම ගම බල්ලා බියෙන් ඉවතට පැන ගත්තේය. සුරුට්ටුවා දඩෝරියාගේ බියසුළු බවට දොස් කීය. ටික දුරක් යන විට බල්ලන් දොළොස් දෙනකු එකවරම දඩෝරියා හා සුරුට්ටුවා ඉදිරියට පැන්නේය.

සුරුට්ටුවා දත් විළිස්සා ඔවුන් හපා කෑමට සැරසුණි. එන පොට හොඳ නැති බව දත් සුරුට්ටුවා ආපසු ගමට වේගයෙන් දිවේය. කෙට්ටු සිරුරක් ඇති සුරුට්ටුවා ඇල්ලීමට එකද බල්ලෙකුට වත් නොහැකි විය.

මහත සිරුරක් තිබූ දඩෝරියාට දුවගැනීමට හැකිවූයේ නැත. බල්ලන්ගේ දත් පහරවලට දඩෝරියාගේ මුළු සිරුරම හිල් වී ගොසිණි. එක  ඇහැක් ද ඌට අහිමි විය. බොහෝ අමාරුවෙන් සවස් වන විට දඩෝරියා තම නිවසට පැමිණියේය.

දඩෝරියා සුරුට්ටුවා එක්ක ගිය ගමන වගෙයි මෙම උපමාව යෙදෙන්නේ පාප මිත්‍ර සේවනය නිසා ඇතිවන කරදර ගැනය.