dompe-surathala-nabbed

ෆේස්බුක් සාද සඳහා මත්ද්‍රව්‍ය සපයන්නකු යැයි ප්‍රකට "දොම්පේ සුරතලා" යන අය අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා සමග අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය පවසයි.

දොම්පේ පොලිස් ස්ථානයේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව ඊයේ (06 වැනිදා) සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් හා ගංජා ග්‍රෑම් 350 ඔහු සන්තකයේ තිබූ බව පොලිසිය පැවසුවේය.



අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 07ක් පමණ වේ. මෙම සැකකරු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත සිටියදී නැවත මත් ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇත. සැකකරු ජා-ඇල, කඩවත, බියගම, කොළඹ වැනි ප්‍රදේශවල පැවැත්වෙන ෆේස්බුක් සාද සඳහා මත්ද්‍රව්‍ය සපයන්නකු බවට ප්‍රසිද්ධ බව පොලිසිය පැවසීය.

සැකකරු අද (07 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක, උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ, පොලිස් සැරයන් වරුන් වන නන්දන (48976), ප්‍රතිලාල් (48440), පොලිස් කොස්තාපල් රාජපක්ෂ (72373) යන නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පොලිස් පරීක්ෂණ කටයුතු සිදු කරයි.

(ආරියපාල වීදාගම - දොම්පේ , ප්‍රසංග පාවුළුහේවා - කටුනායක)