gampola-incident

ගම්පොළ දොළුව හලියද්ද ක්‍රීඩාපිටිය අත්පත් කර ගැනීමට පැමිණි බව කියන පිරිසකට විරෝධය පෑ ප්‍රදේශයේ තරුණ පිරිසක් ඔවුන් පැමිණි වාහන දෙකක් පැය පහක් පුරා පෙරේදා (8) වැනිදා රාත්‍රියේ රඳවා ගැනීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය. ඉන්දියා සමාගමකින් බව පවසමින් ක්‍රීඩාපිටිය මැද කොන්කීට් දමා මුරකුටි සකස් කිරීමට සුදානම් නිසා එහි සිටි ඉන්දීය ජාතික හතර දෙනෙක් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් එම වාහනය සමග රඳවා ගනු ලැබූහ.

කොන්ක්‍රීට් නොගය ක්‍රීඩා පිටියෙන් ඉවත් කරගන්නා ලෙස ප‍්‍රදේශයේ තරුණ පිරිස බලකර සිටීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය. මෙහිදී මෙම තරුණ පිරිස කියා සිටියේ ප්‍රදේශයේ පාසල් හතරක දරු පිරිසකට හා දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම අවට ගම්මාන 15 ක පිරිසකට ඇති එකම ක්‍රීඩාපිටිය මෙසේ වෙනත් කාර්යයක් සඳහා ලබා දීමට නොහැකි බවයි.මීට පෙර මෙම ප්‍රදේශයේ තිබූ අක්කර පහක් වූ කවුඩුපිටිය ක්‍රීඩාංගණය ද මෙයාකාරයට ඇඟලුම් කර්මාන්තශාලා හිමියකුට විකුණා ඇති බවත් පැවසු තරුණ පිරිස ගම්පොළ සිට දොළුව හරහා පේරාදෙණිය දක්වා ඇති ප්‍රදේශයේ එකම ක්‍රීඩාපිටිය වන මෙයට එවැනී ඉරණමක් අස්වීමට ඉඩ ලබාදිය නොහැකි බව ද සඳහන් කළහ.


මෙරට සිටි අග්‍රාමාත්‍යවරයකු වූ දි.මු. ජයරත්න මහතාගේ අවසන් කටයුතු පවා මෙම ක්‍රීඩාංගණයේ සිදුකර ඇති බවද මොවුහු පෙන්වා දුන්හ.

මෙම ඉන්දීය සමාගමේ පිරිස් පෙරේදා (8 වැනිදා) සවස් වරුවේ ක්‍රීඩා පිටිය වෙන පැමිණ කොන්ක්‍රීට් කම්හලයක් යොදා පිටිය මැද කොන්ක්‍රීට් කරමින්, සිටියදී ක්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම ක්‍රීඩා පිටිය තම කොන්ත්‍රාත් සමාගමට ලබාදී ඇති බවයි. හින්දි භාෂාවෙන් හා ඉංග්‍රීසියෙන් කතා කළ ඔවුන් පවසා ඇත්තේ දොළුව ප්‍රාදේශීය ලේකම්වරිය මෙම ස්ථානය ලබා දී ඇති බවයි. ඒ අතර මෙම ස්ථානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ උඩපලාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනුක රත්නායක මහතාද පැමිණි අතර ඔහු දොළුව ප්‍රාදේශීය ලේකම්වරියට පවසනු ලැබුවේ මෙම ස්ථානයේ උණුසුම් තත්වයක් පවතින නිසා එයට මැදිහත්වන ලෙසයි. ඉන්දියන් ජාතිකයන් සමග ද  ඔහු සාකච්ඡා කළ අතර තරුණ පිරිස පවසා සිටියේ පිටිය මැදට දමා ඇති සිමෙන්ති අයින් කරන තුරු ඔවුන්ට යාමට ඉඩ ලබා නොදෙන බවයි.

මේ අතර මෙම ස්ථානයට සමගි ජන බලවේගයේ ගම්පොළ ආසන සංවිධායක අසේල අමරසේන මහතා ද පැමිණි අතර ඔහුද ප්‍රාදේශීය ලේකම්වරියට දන්වා සිටියේ ප්‍රදේශයට ඇති එකම ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන ලෙසයි.”

මේ අතර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයකු ද මෙම ස්ථානයට පැමිණ ඉන්දියන් ජාතිකයන් බේරාගැනීමට උත්සාහ කළත් තරුණයෝ ඔවුන් සියලුම දෙනාම රඳවා ගනිමින් පිටිය මැදට දමා ඇති කොන්ක්‍රීට් අයින් කරන ලෙස දැන්වූහ. පසුව රාත්‍රි නවයට පමණ ඉදිකිරීම් යන්ත්‍රයක් ගෙවා එම කොන්ත්‍රීට් තටුව ඉවත් කෙරිණි. මේ පිළිබඳව දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මියගෙන් කරුණු විමසීමේදී ඇය පවසා සිටියේ ඉන්දියන් සමාගමක් හා විදුලිබල මණ්ඩලය එක්ව සිදුකරන ව්‍යාපෘතියකට මෙම ස්ථානය ඉල්ලා ඇති බවයි. දිස්ත්‍රික් කමිටුවේ හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගත් තීරණයකට,

අනුව මෙම ක්‍රීඩාපිටියේ කොටසක් ඔවුන්ට ලබා දුන් බවද ඇය කීවාය.ළමයිගේ ක්‍රීඩා කටයුතුවලට බාධා නොවන ලෙස එය පරිහරණය කරන ලෙස කීවත් මෙවැනි දෙයක් සිදු වී ඇති නිසා මෙය තාවකාලිකව නවතා දමා ඉදිරියේදී සාකච්ඡාවකින් පසු තීන්දුවක් ගන්නා බව ද ඇය සඳහන් කර සිටියාය.


(ගම්පොළ සුරංග රාජනායක)