covid19-government
හෙට (03) සිට රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙයි.

නව වසර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කෘෂිකාර්මික, කාර්මික, ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කටයුතු සඳහා රජය වෙන්කර ඇති අතර,


ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය ඉතා වැදගත් වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේය.

ඒ අනුව හෙට සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවනු ලබයි.

හෙට උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබාදී රාජකාරී කටයුතු ආරම්භ කරන අතර,

වෛද්‍යවරයෙකුගේ දේශනයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසද දන්වා තිබෙයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබිණි.

මේ අතර, නව පාසල් වාරය ද හෙටින් ආරම්භ වෙයි.

එහිදී සිසුන් කාණ්ඩ වශයෙන් පාසල් ගෙන්වීමේ ක්‍රමවේදයද තවදුරටත් ක්‍රියාත්මක වෙයි.