harsha-de-silva-speaks

2021 වසර තුළ දළ වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 700කට වඩා මුදල් අච්චු ගැසීමක් සිදුකර ඇති බවත්, එහිදී 2020 වසරේ පෙබරවාරි මුල් සතියේ රු.බිලියන 70ක් වූ භාණ්ඩාගාර බිල්පත්වල මුළු එකතුව 2021 වසරේ. දෙසැම්බර් 31 වැනිදා වනවිට රු.බිලියන 1,416ක් දක්වා වැඩිවීමට මේ ආකාරයෙන් මහබැංකුව මැවූ මුදල් හේතු වන්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  පවසයි.



ඔහු මේ බව පවසා සිටියේ 2021 වර්ෂයේ මහබැංකුවේ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් සිදුවන කතාබහ මෙන්ම, ඒ හරහා ආර්ථික හා සමාජයීය වශයෙන් ඇතිවන බලපෑම පිළිබඳ  අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "2021 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේදී මහබැංකුව සල්ලි අච්චු ගැසීමක් කළාද, නැද්ද යන්න මා දන්නේ නැහැ. නමුත් 2021 දෙසැම්බර් 31වැනිදා මහබැංකුව නිකුත් කළ වාර්තාවට අනුව  භාණ්ඩාගාර බිල්පත්වල මුළු එකතුව රු.බිලියන 1,416ක් දක්වා වැඩිවී තිබෙනවා. ඒ වගේම 2021 වසරේදී දළ වශයෙන් රු.බිලියන 700ක් ඉක්මවා මුදල් අච්චු ගැසීමක් සිදුකර තිබෙනවා. මෙතනදි අපි තේරුම්ගත යුතු දෙයක් තමයි මුදල් අච්චු ගැසීමක් කියා හැඳින්වූවාට සැබවින්ම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමත්ම මින් අදහස් වන්නේ නැහැ. මෙහිදී යම් නෝට්ටු ප්‍රමාණයක් මුද්‍රණය වීම සිදුවිය හැකි වුවත් මින් සාමාන්‍යයෙන් අර්ථකථනය වෙන්නේ මෙහෙම දෙයක්.

අපි හිතමු භාණ්ඩාගාරයට මොකකට හරි ගෙවන්න ණයක් ගන්න අවශ්‍ය වුණා කියලා. සාමාන්‍යයෙන් කරන්නේ භාණ්ඩාගාර බිල්පතක් වෙන්දේසි කරනවා. එතනදි මේ භාණ්ඩාගාර බිල්පතට එක් එක් අය ලංසු තියෙනවා.එතනදි හොඳම ලංසුවට අනුව ඒ භාණ්ඩාගාර බිල්පත විකුණනවා. ඒ භාණ්ඩාගාර බිල්පත රු.100,000කට විකිණුවා කියලා හිතමු.

දැන් ඒ රු.100,000ක මුදල භාණ්ඩාගාරයට ලැබෙනවා. මුදල දීපු පුද්ගලයාට රු.100,000ක වටිනාකම තියෙන භාණ්ඩාගාර බිල්පතක් ලැබෙනවා. භාණ්ඩාගාරය අවුරුද්දකට නම් ඒ ණය ගත්තේ අවුරුද්දකට පසුව ඒ පුද්ගලයා ඒ බිල්පත භාණ්ඩාගාරයට යොමුකිරීම සඳහා බැංකුවට ලබාදුන්නා මහාභාණ්ඩාගාරය අර කලින් ණයට ගත්ත රු.100,000ක මුදල පොලියත් සමගම ගෙවනවා. ඕක තමයි   සාමානයෙන් රජයේ දේශීය ණය ලබාගැනීමේ ක්‍රමවේදය. නමුත් දැන් ප්‍රශ්නය වුණේ වත්මන් රජය භාණ්ඩාගාර බිල්පත්වලට ලබාදෙන පොලිය සීමා කළා. ගැසට් ගහලා හාල් මිලට සීමා දැම්මා වගේ මේක තමයි දෙන්න පුළුවන් වැඩිම පොලිය කියා කිව්වා. ඒත් උද්ධමනයත් ඉහළ යන අවස්ථාවක මිනිස්සු 5%ක පොලියට ආණ්ඩුවට ණයට සල්ලි දෙන්න (භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න) සූදානම් නැහැ.



ඔවුන් වැඩි පොලී මුදලක් ඉල්ලා සිටියා. මේ තත්ත්වය සමග භාණ්ඩාගාර බිල්පත් වෙත  ලංසු ඉදිරිපත් වුණේ නැහැ. ඒවා සීමා වුණා. මේ විදියට මිනිස්සු ලංසු ඉදිරිපත් කරන්නේ නැති නිසා මහබැංකුව භාණ්ඩාගාරයට සල්ලි දෙන්න ඉදිරිපත් වුණා. ඒ කිව්වේ මහ බැංකුව විසින්ම සල්ලි ගෙවලා බිල්පත් ගත්තා.දැන් ඒ අවශ රු.100,000ක මුදල භාණ්ඩාගාරයට කෙසේ හෝ ලැබුණා. නමුත් ඒ රු.100,000ක මුදල ලැබුණේ වෙළෙඳ පොළේ කාගේ හෝ බැංකුවක තිබුණු  රු.100,000ක් නොවෙයි. එතනදි මම හෝ ඔබ ඒ රු.100,000ක මුදල භාණ්ඩාගාරයට ණයක් හැටියට දුන්නා නම් ඒ වෙළෙඳ පොළේ තියෙන රු.100,000ක් තමයි දු න්නෙ . හැබැයි මේ දීලා තියෙන්නෙ නැති රු.100,000ක්. ඒ නිසා තමයි 2020 පෙබරවාරි මුල් සතිය වනවිට රු.බිලියන 70ක් පමණ සුළු ප්‍රමාණයක් වූ මහබැංකුවේ. භාණ්ඩාගාර බිල්පත්වල මුළු එකතුව 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට රු, බිලියන 1,416ක් ඉක්මවා වැඩිවෙලා තියෙන්නෙ. ඒ ඔකොම අර වගේ මවපු (අච්චු ගහපු) මුදල්. එහෙම  මහබැංකුව මැව්වොත් තමයි භාණ්ඩාගාරයට මේ බිල්පත්වලින් සල්ලි ලැබෙන්නේ.

එසේ නොමැතිව ලැබෙන්න නම් ජනතාව ලංසු ඉදිරිපත් කරලා බිල්පත් මිලදී ගන්න ඕනෙ. දැන් අවසානයේදී භාණ්ඩාගාරයට ඒ රු.100,000ක මුදල (උදාහරණය) ලැබුණාට මහා භාණ්ඩාගාරය ඒ සල්ලි තමන් ළඟ රඳවාගෙන ඉන්නේ නැහැ. අපි හිතමු ඒ මුදල් පාරක් හදපු කොන්ත්‍රාත්කරුවෙකුට ගෙව්වා කියලා. එතනදි එතනදි රු.100,000ක මුදල මේ කොන්ත්‍රාත්කරු අරගෙන ගිහින් ඔහුගේ බැංකුවේ තැන්පත් කළොත් "Money  Multiplier' න්‍යායට අනුව මේ මුදල් තවත් වැඩිවෙනවා.

මොකද ඔහු ඒ රු.100,000ක මුදල බැංකුවේ තැන්පත් කළ විට බැංකුව තමන්ගේ සංචිතවල රු.5,000ක් විතර තියාගෙන රු,95,000ක විතර ණයක් වෙන කාටහරි දෙනවා. ඒක තමයි බැංකුව කරන්නෙ. දැන් ඒ රු.35,000ක ණය මුදල ගත් තැනැත්තා, රු.45,000ක් නොයෙකුත් දේවල්වලට වියදම් කරලා ඉතිරී රු.50,000ක මුදල  තම බැංකුවේ තැන්පත් කරනවා. දැන් ආයෙත් ඒ බැංකුව මේ රු.50,000ක මුදලෙන්,රු.2,500ක් බැංකුවේ සංචිතවල තියාගෙන තව රු.45,000ක් තව කාටහරි ණයට දෙනවා. අවසානයේදී මහබැංකුව විසින් යම්කිසි මුදලක් මවලා වෙළෙඳ පොළට දැම්මොත් ඒක 'Money Multiplier' න්‍යායට අනුව බැංකු පද්ධතිය හරහා තව සෑහෙන ප්‍රමාණයකින් වර්ධනය වෙනවා.



ඒ නිසා අපි බලන්න ඕන මේ සම්පුර්ණ මුදල් සැපයුම දෙසයි. එනම් මහබැංකුවට තියෙන අත්පත් කරගත් භාණ්ඩාගාර බිල්පත්වලට එහා ගිහින්  සම්පුර්ණ මුදල් සැපයුම දෙස බැලුවොත් එය දැන් 30%ක් වගේ වැඩිවෙලා.මෙතැන වැදගත්ම කාරණය වන්නේ මූර්ත ලෙස ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් වැඩි වෙනවා නම් මුදල් සැපයුම වැඩි වුණාට ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ එසේ නොවන විටයි. එනම් මුදල් සැපයුම වැඩිවෙලා තිබුණාට භාණ්ඩ හා සේවා ඇත්ත වශයෙන්ම වැඩිවීමක් දක්නට නොලැබෙන නිසයි. මොකද අද අපේ තියෙන්නේ සෘණ ආර්ථිකයක්. මූ ආර්ථික වර්ධනය සෘණ අගයක. ඒක පැත්තකින් සල්ලි තියෙන  ප්‍රමාණය වැඩිවෙනවා. අනෙක් පැත්තෙන් බිහිවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවෙනවා. එතකොට තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට ඇති ඉල්ලුම වැඩි වෙනවා.

මේ හේතුවෙන් මිල ඉහළ යනවා. එහෙම තමයි, මේ භාණ්ඩ හා සේවාමිල අඛණ්ඩව ඉහළ යන්නේ. මේ ආකාරයට වගකීමකින් තොරව මුදල් අච්චු ගහන්න ගියාම වෙන්නේ සියලු භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමයි. ජනතාව අන්ත අසරණ වීමයි. අද කොණ්ඩ කපන ගියත් මිල වැඩියි. පොල්ගෙඩියක් මාළු මිරිස් කරලක් ගන්න ගියත් මිල  වැඩියි. ඩොලර් එකත් වැඩි වෙනවා. එසේ වන්නේ මේ ඔක්කොම රුපියල්වලින් ගන්න දේවල් නිසයි. ඩොලර් ඒකයි පොල් ගෙඩියයි අතර අද වෙනසක් නැහැ" යනුවෙන් පවසා සිටියේය.


(ෂමිල පෙරේරා)