harsha-de-silva-speaks

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ  දී ඇති ඩොලර් අර්බුදයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 

  තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණ ද සහන පැකේජෙය හේතුවෙන් රට තුළ ඇති උද්ධමනය ඇති විය හැකි බවත් හරි ද සිල්වා මහතා කීව්වේය.  රජයේ සංඛ්‍යා ලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1 කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩි වී ඇති අවස්ථාවක රජය මේ තීරණය ගැනීම විනාශයක මුල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීව්වේය.

රට මුහුණ දෙන දැවැන්තම අර්බුදය ඩොලර් අර්බුදයයි. ඩොලර් නැති කමින් අත්‍යවශ්‍ය ආහාර ගන්නේ කන්ටේනර් වරායේ සිර වී තිබෙනවා. පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ ඉන්ධන ගෑස් කිරි පිටි ගෙන් වීමට නොහැකිව රට දැවැන්ත අර්බුදයකට පත් වෙලා.  රුපියල් අච්චු ගසා මෙහෙ ප්‍රශ්න විසඳ ගත්තත් අපට තිබෙන ලොකුම ප්‍රශ්නය ඩොලර් අච්චු ගැසීමට නොහැකි වීමයි. ඒ නිසා ඩොලර් ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් සෙවිය යුතූයි. 2009 ජනවාරි මාසයෙන් පසුව උද්ධමනය ඉලක්කම්  දෙකක අගයකට පැමිණියා. මාස 12ට සියයට 40 කින් පමණ භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා.  මේ තත්වය විසඳුමක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප  රුපියල් 5000 කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේකයන් ලක්ෂ දාසයකගේ සහ විශ්‍රාමිකයන් ලක්ෂ 4කගේ වැටුප් වැඩි කිරීමෙන් සමස්ත ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රජයේ මේ තීරණය නිසා පෞද්ගලික අංශය ඇතුළු රටේ අනෙකුත් ජනතාවට මොකද වෙන්නේ ක්‍රියා අප විමසනවා. රජය ගත් තීරණය අති උද්ධමනකාරී තත්වයක් ඇති වීමට හේතු වෙනවා. මුදල් අච්චු ගැසීමෙන් තමයි මේ තත්වය ඇති වුණේ. එහෙම නැතුව කොරෝනා වසංගතය නිසා නොවෙයි.

රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීන්දුව රට තුළ විශාල ආහාර අර්බුදයක් ඇති වුණා. අද විශාල ආහාර හිගයක් සහ ජනතාවට දරා ගැනීමට නොහැකි  ලෙස ආහාර මිල ගණන් ඉහළ ගිහිල්ලා. දුරදිග නොබලා රජය ගන්නා අත්තනෝමතික තීරණ ගොවියා ඇතුළු සමස්ත පද්ධතියම කඩා වැටීමට හේතු වෙලා.

මූල්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු විනයක් නොමැති බව රජයේ මේ ක්‍රියා කලාපය තුළින් පැහැදිලි යි. රජයේ හිතුවක්කාරි ලෙස මුදල් අච්චු ගැසීම නිසා මූල්‍ය සැපයුම 40% කින් වැඩි වෙලා. මුදල් මණ්ඩලය රජයේ ආර්ථික කළමනාකරණය අතින් ගිහිල්ලා කියා මින් පැහැදිලි වෙනවා.  තාවකාලික පැලැස්තර යොදවනවා වෙනුවට ආණ්ඩුව මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට දිගු කාලීන විසඳුම් සෙවිය යුතුයි.


-නිමල කොඩිතුවක්කු-