සේවකයන් විසින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඔවුන්ට පතල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් එහි ප්‍රධාන ගේට්ටු ඉබි යතුරු යොදා වසාදැමීමට පාලනාධිකාරිය කටයුතු කිරීම නිසා,
දොඩම්ගස්ලන්ද, කහටගහ මිනිරන් පතලේ ප්‍රධාන පිවිසුම්දොරටුව ඉදිරිපිට දී පෙරේදා (08 දා) උණුසුම් තත්වයක් ඇති විය. එදින උදෑසන සේවයට වාර්තා කිරීමට පැමිණි පතල් කම්කරුවන් තමන්ට සේවයට වාර්තා කිරීමට අවශ්‍ය බව පවසමින් ප්‍රධාන ගේට්ටුව අසල කලහකාරීව හැසිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය. කහටගහ පතලේ කැණීම්, යාන්ත්‍රික, සැකසීම් හා කාර්යාල යන අංශවල සේවයේ නියුතු සේවක සේවිකාවෝ 140 කට ආසන්න පිරිසක් මෙලෙස ප්‍රධාන දොරටුව අසල රැඳී සිටිමින් පාලනාධිකාරියේ තීරණයට විරෝධය පළකළහ. පතලට පිවිසෙන ප්‍රධාන ගේට්ටු දෙකට ඉබි යතුරු ලා වසා තිබූ අතර සේවකයන්ට පතලට ඇතුළුවීම තහනම් කරමින් ගේට්ටුවල දැන්වීමක්ද අලවා තිබෙනු එහිදී දැකගත හැකිවිය.
කහටගහ පතල් සේවක එකමුතුවේ කැඳවුම්කරු ඒ.ඒ. කරුණාරත්න මහතා පැවසුවේ 2017 වසරේ සිට තමන්ට දෛනික නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 300 ක මුදලක් ගෙවූ බවත්,
ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට අදාළ මුදල ගෙවීම නවතා ඇති බවත්ය. පොළොව අභ්‍යන්තරයේ පිහිටි පතලට ජලය පිරිම නිසා නිෂ්පාදන කටයුතුවලට බාධා සිදුවී ඇති නමුත්, එම ජලය ඉවත් කිරිමට පාලනාධිකාරිය මේ දක්වා කටයුතු කර ඇතැයි ද හෙතෙම පැවසීය. එසේ තිබියදී නිෂ්පාදනය අඩු බව පවසා මහ පොළොව යට සේවයේ යෙදෙන අහිංසක, දුප්පත් කම්කරුවන්ගේ දීමනාව කපා දමා ඇති බවත්, ඊට විරෝධය පළකරමින් තමන් දින කිහිපයක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වූ බව ද ඔහු පැවසීය. අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා පාලනාධිකාරිය සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ නමුත් ඒවා අසාර්ථක වූ බවත්, පෙරේදා දිනයේ දී සේවයට වාර්තා කිරීමට පැමිණි සේවකයන් එළියට දමා ගේට්ටු වසා දැමීමට පාලනාධිකාරිය ක්‍රියා කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
(කුරුණෑගල අජන්ත රත්නායක)
0 Comments