kahawatte-incident

කහවත්ත මූලික රෝහලේ ඖෂධ ගබඩාවෙන් සොරා ගත් බෙහෙත් පෙති එක්දහස් පන්සීයක් සහ අත්මේස් දසදහසකට අධික ප්‍රමාණයක් මල්ශාලාවකට විකුණූ බවට සැකපිට කහවන්ත රෝහලේ සේවකයන් තිදෙනකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රෝහල සහ කහවත්ත පොලිසිය කියයි.  මෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බවද ආරංචි මාර්ග කියයි. මෙම රෝහල් සේවකයන් තිදෙනාගෙන් එක් අයකු ඖෂධ ගබඩාවේ සහ සෙසු දෙදෙනා වාට්ටුවල සේවය කළ අය බවත් විමර්ෂන කටයුතුවලට අදාළව මේ වන විට මොවුන් අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයා පැවැසීය.මොවුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම බෙහෙත් පෙති හා අත්මේස් සොරකම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.



මෙම අදාළ සැකකරුවන් මීට සති තුනකට ඉහත දී හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව සූක්ෂම ලෙස කරන ලද විමසිලිමත් බව නිසා සොරකම අනාවරණය කර ගැනීමට හැකි වූ බව එම ප්‍රකාශකයා පවසයි. මේ වන විට කහවත්ත මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  රත්නපුර සහකාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ශ්‍රීනි අලහප්පෙරුම මහත්මියගේ දැනුම් දීමකට අනුව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය අනාවරණය වූ දින ඖෂධ ගබඩාව භාර නිලධාරින් පිටව යන අවස්ථාවේ සැකකාර සේවකයන් දෙදෙනා ඖෂධ ගබඩාවට ඇතුළු වී ඇති අතර මොවුන් පිළිබද සැකසිතු පිටත්ව ගිය නිලධාරින් විනාඩි පහකට පසුව නැවත පැමිණ බලද්දි රැගෙන යාමට සුදානම් කළ බෙහෙත් පෙති හත්සිය පනහක් කළු පැහැති කවරයක දමා පෙට්ටියක් මත තිබී සොයාගෙන ඇත.ම

ෙම බෑගය කිසිසේත් ඖෂධ ගබඩාවට අයත් නොවන එකක් වූ හෙයින් මේ පිළිබඳව වහාම රෝහල් පාලනාධිකාරියට දන්වා ඇත. බෙහෙත් පෙතිවලට අමතරව අත්මේස් සොරකම කලක් තිස්සේ සිදුකර ඇති බව අනාවරණය වූ බව රෝහල් ප්‍රකාශකයා පැවැසීය.ඖෂධ ගබඩාවේ සිදුකළ ඉතිරි බඩු ගණන් ගැනීමට අනුව සොරකම් කරන ලද බෙහෙත් පෙති ගණන එක්දහස් පන්සීයක් හා අමේ ප්‍රමාණය දසදහසකට අධික බව මේ වන විට අනාවරණය කරන්ගෙන ඇත.


මෙම අතුරුදන් බෙහෙත් පෙති හා අත්මේස් ප්‍රමාණය මොවුන් විසින් ම සිදුකළ සොරකමක් ද නැතිනම් සංවිධානාත්මකව වෙනත් මාර්ග ඔස්සේ සිදු වී ඇත්ද යන්න මේ වන විට විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ නියෝගය පරිදි කහවත්ත පොලීසිය මෙම සිදුවීම පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පවසයි.මෙම සැකකරුවන් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග ලිහිල් කරන ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයකු රෝහලට බලපෑම් කරමින් සිටින බවද පැවසේ.



(කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි)