kekierawa-hospital

කොරෝනා වයිරසය ආසාදනය වූ බවට සැකකෙරෙන කාන්තාවක කැකිරාව රෝහලට රැගෙන ආ 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ  රියැදුරකුට පහර දුන් බව කියන එම රෝහලේ  වෛද්‍යවරයකු සහ සුළු සේවකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැකිරාව පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ බව කියන සුවසැරිය ගිලන් රථ රියැදුරා මේ සම්බන්ධයෙන් කැකිරාව  පොලිසියට පැමිණිල්ලක් කර දඹුල්ල රෝහලට ඇතුළත්වන බව කියා පිටත්ව ගිය බව ප්‍රදේශයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.



කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුලියන්කුලම ප්‍රදේශයේ කාන්තාවක රැගෙන සුවසැරිය ගිලන් රථ රියැදුරා සහ සහායකයා කැකිරාව රෝහලට 26 රාත්‍රියේ පැමිණ ඇති අතර එම කාන්තාව  රෝහලේ බාහිර රෝගී අංශය වෙත ඇතුළත්  කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඇයගේ ඇන්ටිජන් පරික්ෂණය ගිලන් රථය තුළදී සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් වී ඇතැයි පොලිසිය  කියයි.  ගිලන් රථ සේවාවේ නීතිරීතිවලට අනුව ගිලන්  රථය තුළදී එම පරීක්ෂණය සිදුකිරීමට ඉඩදිය  නොහැකි බව දැනුම් දීමෙන් පසුව එහි පැමිණි රෝහල් වෛද්‍යවරයකු සහ සුළු සේවකයකු රියැදුරාට පහර දී ඇති බව පොලිසිය පවසයි.

රෝහල් කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස මැදිහත් වී පහරදීම වළක්වා ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. ගිලන් රථ රියැදුරා කළ පැමිණිල්ලට අනුව ඔහුට පහර දුන්නේ යැයි කියන වෛද්‍යවරයා සහ සුළු සේවකයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කැකිරාව පොලිසිය කියයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-