kepungoda-incident

කැපුන්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ  පසුගිය 01 දා දිය නෑමට ගිය තරුණයන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු මුහුදු රැළට හසුව ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයකු අතුරුදන්ව ඇති බව දුන්ගාල්පිටිය පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ  පමුණුගම, සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.කේ. මලිදු කවිෂ්ක ප්‍රනාන්දු (අවු.17) හා ඒකල, ඩයස් මාවතේ පදිංචිව සිටි ආර්.කේ. ධනුෂ්ක කෞෂල්‍ය ජයතිලක (අවු.23) නමැත්තන්ය. මුහුදු රළට හසුව අතුරුදන්ව ඇත්තේ, අඹේවෙල, චාර්ලික් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත කුමාර් . මුලරිදරන් (අවු.21) නමැත්තෙකි.  දුන්ගාල්පිටිය පොලිස් වසමට අයත් කැපුන්ගොඩ නැන්ගුරම්තොටුපල ආසන්න මුහුදු තීරයේ පිරිසක් දිය නාමින් සිට ඇති අතර,

මෙලස දිය නාමින් සිටි පිරිස අතරින් පදනෙකු මුහුදු රළ පහරකට හසුව මුහුදු දියඹට ගසාගෙන ගොස් තිබෙන බවත්, එම අවස්ථාවේ ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් දියඹට. ගසාගෙන යමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු ගොඩට රැගෙන පැමිණියද අසාධ්‍ය තත්වයේ සිටි දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් අයකු අතුරුදහන්ව ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.මෙම ස්ථානයේ මුහුද නිශ්චලව පවතියද මුහුදු දියවැල් ක්‍රියාත්මක වන නිසා එහි අනතුරුදායක තත්වයක් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. එබැවින් එම ස්ථානයේ දිය නෑම අනතුරුදායක බවට දැන්වීම් සවිකර තිබුණද ඒබව නොතකා විවිධ පිරිස් පැමිණ නැගුරම් තොටුපොළ ආසන්න මුහුදු තීරයේ දිය නාන බවද ඔවුහු පවසති.

අතුරුදන් පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් ඒකකය මෙහෙයුම් දියත් කර තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද රණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජයරත්න ද සිල්වා මහතා ඇතුළු නිලධාරි වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(ජා-ඇල - ප්‍රසංග පෙරේරා )