kerosine-fire-death

ගෑස් ළිප පුපුරතැයි බියෙන් එය භාවිත නොකර භූමිතෙල් ළිපක් ගෙන්වාගෙන ඉවුම් පිහුම් කරද්දී එම ළිප පෙරළී ඇඳිවතට ගිනි ඇවිලී ගැබිනි කාන්තාවක පිලිස්සී මියගිය පුවතක් කොළඹ ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියෙන් වාර්තා විය. 

මඩකළපුව පාලමුණේ, වන්නියාර් පාරේ, පදිංචි 29 හැවිරිදි කාන්තාවක මෙසේ මියගොස් තිබිණි.  ඉකුත් දෙසැම්බර් පළමු වැනිදා ඇය මෙම අනතුරට ලක්ව තිබූ අතර, මඩකළපුව රෝහලෙන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසු, එහි දින  විසි එකක් ප්‍රතිකාර ලබා ඇය පසුගිය පළමු වැනිදා මියගොස් තිබේ.  ඇය මිය යන විට තෙමස්  ගැබිනියකව සිටි බවත්, අවුරුදු 10ක තවත් දරුවකු සිටින බවත්, ඇගේ මරණය පිළිබඳ ජාතික රෝහලේ අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

ගෑස් ළිප් පුපුරනවා යැයි බියෙන් භූමිතෙල් ළිපක් ගෙන්වාගත් ඇය,  දෙසැම්බර් පළමු වැනිදා රාත්‍රී දහයට  පමණ තම සැමියාගේ රාත්‍රී ආහාරය රත්කර තැබීම සඳහා භූමිතෙල් ළිප දල්වා ඇති බවත්, එහිදී ළිප පෙරළී  ගවුමට ගිනි ඇවිලී ඇති බවත් එම මරණ පරීක්ෂණයේදී හෙළි විය.

ගිනි නිවා ගැනීම සඳහා ඇය බිම පෙරළෙමින් සිටියදී භූමිතෙල් ගඳ කුමක් නිසා දැයි බැලීමට පැමිණි 11 හැවිරිදි පුතු වතුර ගසමින් ඇය නිවා අසල්වැසියන් සමග රෝහලට ගෙන  ගොස් ඇති බවත් එහිදී තවදුරටත් හෙළි විය. මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ  වෛද්‍ය නිලධාරි එම්.එන්. රුහුල් හක් මහතා විසින් පවත්වන ලද අතර, ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරිය, එය පිළිස්සීමෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළාය.


 -විනීතා එම්. ගමගේ-