ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27වැනිදා) රාත්‍රී තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායකට ගෙන එනු ලැබිණි. මෙම දේහය භාර ගැනීම
සඳහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.අද (28)පස්වරුවේ සිට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව හිමි වේ . කෙසේ වෙතත් නීලා වික්‍රමසිංහ මහත්මියගේ අන්තිම කැමැත්ත අනුව ඇය මරණයට පත්වූ පසු අවසන් ගෞරව සඳහා සිරුර මංජුසාවෙන් විවෘත නොකරන ලෙස ඉල්ලා ඇත.
දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා 22 පස්වරුවේ මිලානෝ හි පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තිබූ අතර එම අවස්ථාවේත් ඇයගේ අවසන් ඉල්ලීමක් අනුව දේහය විවෘත නොකර වසා තබා තිබිණි.
හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා ඉතාලියේ මිලානෝ නුවර රෝහලකදී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 71 වන වියෙහි පසුවිය.
ශ්‍රී ලංකාවට ගෙනා දේහය, අද (28) පස්වරුවේ සිට අංක 85, දෙහිවල පාර, පැපිලියාන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තැබෙන බව වාර්තාවේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 29 සෙනසුරාදා සිදුකරන්නට නියමිතය.
0 Comments