pention-grand-mother

තම මියගිය බෑනාගේ විශ්‍රාම වැටුප වසර 10කට ආසන්න කාලයක් තිස්සේ හොරෙන් ලබාගෙන, රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් නිනි විරෝධී ලෙස ගත් නැන්දම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්‍රාම නිලධාරි,

ප්‍රාදේශීය ලේකම්වරයකු සහ  ගණකාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම කාන්තාව නීති විරෝධව  විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවට ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරයකු ප්‍රමුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් මේ පිළිබඳව සොයා බලා ග්‍රාම නිලධාරියා නොදැනුවත්ව කළ කටයුත්තක් යැයි ද අදාළ කාන්තාව නීති විරෝධීව ලබාගත් විශ්‍රාම වැටුප් මුදල නැවත ගෙවන ලෙස ද නිර්දේශ කර ඇති බවත්, එය නීති විරෝධී ක්‍රියාවකට අනුබල දීමක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.



දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඉොට්ඨාසයේ පදිංචිව සිටි මෙම විශ්‍රාමිකයා 2006 වසරේ මිය යැමෙන් පසුව ඔහුගේ බිරියගේ අම්මා තම බිරිය යැයි පවසමින් වැන්දඹු විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර, ඇයට ඒ සඳහා අවශ්‍ය ජීවිත සහතික ඇතුළු සහතික සකස් කර දී ඇත්තේ චෝදනාවට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා බව කියති.   මියගිය විශ්‍රාමිකයාගේ බිරිය ද 2003 වසරේ මියගොස් ඇති බව  හෙළි වී ඇත.  මේ අතර, අදාළ කාන්තාව නීති විරෝධිව ලබාගත් විශ්‍රාම වැටුප ලෙස ලක්‍ෂ 25ක පමණ මුදලක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ඇතැයි ද දැනගන්නට තිබේ.

යොහාන් බාසුර