තමන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කරමින්, හමුදා බුද්ධි අංශයේ නිලධාන් පිරිසක් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ තරුණයෙකු අත්මාංචු දමා, ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් පහරදීමේ සිදුවීමක් පිළිබඳ කටුනායක පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් තිදෙනකු ත්‍රිරෝද රථයකින් කටුනායක 18කණුව ප්‍රදේශයේ සිට මිනුවන්ගොඩ දක්වා ගමන් කරමින් සිටියදී, තමන් දෙස රවා බැලුවා යැයි ප්‍රකාශ කරමින් පසුගිය 07 වැනිදා රාත්‍රියේ මෙසේ මෙම තරුණයා පැහැර ගෙන ගොස්, කටුනායක කෝවින්න ප්‍රදේශයේදී පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඉන්පසුව මෙම තරුණයාගේ සොහොයුරන්ටද දුරකථන ඔස්සේ කැඳවීම්  සිදු කර ඔවුන්ටද, මෙම නිලධාරින් පහරදීමට සූදානම් වනවිට, ඔවුන් පෙරළා මෙම නිලධාරීන්ට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කටුනායක පොලීසිය මේ වනවිට මෙම යුද හමුදා නිලධාරින්ට පහරදීම සිදු කළ තරුණයන් 07දෙන්නෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,

ඔවුන් අතරින් වැඩි පිරිසක් පාසල් සිසුන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.එසේම මෙම පහරදීමෙන් තුවාල ලැබූ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.මෙම සිදුවීම පිළිබඳ මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට කටුනායක පොලීසිය කරුණු වාර්තා කර ඇති අතර, එළඹෙන 24වැනිදා ඉදිරි නඩු විභාගය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.කටුනායක පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක අකිල රණසිංහ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ, එහි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරක මහතා ඇතුළු නිලධාරී පීරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

(කටුනායක - ටී.කේ.ජී.කපිල)