rapid-antigen-outage

දිවයින පුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟවීම නිසා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කිරීමට රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂවරුන්ට සිදුව ඇති බව වාර්තා වේ.



කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග පුද්ගලයන් රෝහල්වලට පැමිණීමෙන් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යාමේ අවශ්‍යතාවයක් මතුව තිබේ. එහෙත් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල මහනුවර ජාතික, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු ප්‍රධාන රෝහල් රැසකම කට්ටල හිඟය හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇති බව අධ්‍යක්ෂවරුන් පවසති.



ඇතැම් රෝහල්වල බාහිර පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. කොවිඩ් පාලනය කර තිබීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම අවම කිරීම මෙම හිඟය ඇතිවීමට හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ලෝක බැංකු ආධාර යටතේ කඩිනමින් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන​ කොවිඩ් සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානිගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රධාන සමාගම් දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලබාදීමටද එකඟත්වය පළකර ඇති බවයි.