sannasgala-sunil-edirisinghe

ප්‍රකට දේශක උපුල් ශාන්ත සන්නස්ගල සිය යූටියුබ් නාලිකාව ඔස්සේ මේ දිනවල රටේ ආරංචි වන ‘හූ තැබීම්‘ ගැන විස්තර කථාකරමින් සිටියදී තමන්ට හූකීම නිසා සිදුවූ අකරතැබ්බයක් ගැන ඔහුගේ අවන්හළ රෝයල් තැප්‍රොබේන්හි සිට විස්තර කර තිබේ.
සුනිල් එදිරිසිංහ -වික්ටර් රත්නායක හා අමරසිරි පිරීස් වැනි කලාකරුවන්ගේ නම් ගෑවුණ එම අපූරු කතාව කෙටියෙන් මෙසේය.
සන්නස්ගල උසස් පෙළ හැදෑරුවේ තර්ස්ටන් විද්‍යාලයේය. ඔහු එම පාසලට මුලින්ම ගිය දිනවල රැග් එකක් ලෙස සිංදුවක් කියන්නට කියූ විට ඔහු කියා සිටියේ සුනිල් එදිරිසිංහ ගයන ‘රන් සමණළයෝ‘ ගීතයයි. සන්නස්ගලගේ ආසම ගායකයන් අතර සුනිල් සිටි බව කියැවේ.

පසු කලෙක සන්නස්ගල කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබද්දී සුනිල් එදිරිසිංහ ගායකයා දේශපාලන වේදිකාවල ගීත ගායනයට යාම නිසා ‘කඩේ යන්නෙකු‘ ලෙස රටේ කථාබහක් පැවතිණි. වරක් විශ්ව විද්‍යාලයේ කලා උළෙලකට සුනිල් එදිරිසිංහ ආරාධිතයෙකු ලෙස ගෙන්වා සම්මානයක් පිරිනමන්නට සූදානම්ව පැවති අතර එදින සුනිල් පැමිණ සම්මාන ගන්නට යද්දී විශ්ව විද්‍යාල සිසුන් සාමූහිකව එක්වී සුනිල්ට හූ තබා තිබේ. එම හූවට සන්නස්ගල තරුණයාද දායක විය.
කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා කලබල නොවුණ සුනිල් එදිරිසිංහ වේදිකාවේ මයික්‍රෙෆෝනය වෙත ගොස් තමා එම හූවෙන් පාඩමක් ඉගෙනගත් බවත් මින් මතු දේශපාලන වේදිකාවල ගීත ගායනයට නොයන්නට පොරොන්දු වෙන බවත් දන්වා ඇති අතර එය ඇසූ සරසවි සිසුන් අත්පොළසන් දී ඔහුට ආචාර කර තිබේ. එයින් පසු ඔහු සම්මානය ලබාගෙන සතුටින් පිටව ගොස් ඇත.

පසු කාලයක සන්නස්ගල ටියුෂන් ගුරුවරයෙකු ලෙස සාර්ථකත්වය ලබා සිටි කාලයේ මහනුවර සිට කොළඹට එන අතරවාරයේ පේරාදෙණිය ආසන්නයේ වාහනයක දෝෂයක් නිසා පාරේ නතරව සිටි  සුනිල් එදිරිසිංහට උදව් කර තිබේ. සුනිල්ගේ වාහනය හදන්නටත් ඔහු යමින් සිටි මංගල උත්සවයට යාමට අතිරේක වාහනයක් සොයා දෙන්නටත් සන්නස්ගල උදව් කර ඇති අතර එදින රාත්‍රියේ සන්නස්ගල දුරකථනයෙන් ඇමතූ සුනිල් ඊට ස්තූති කර තිබේ.

ටික කලකට පසු නැවත කිරිබත්ගොඩ ත්‍යාග ප්‍රදාන උත්සව අවස්ථාවකදී සුනිල් එදිරිසිංහ  සන්නස්ගලට හමුවී තිබෙයි.ඔවුන් වේදිකාවේ අමුත්තන්වූ එම උත්සවයේදී එකිනෙකා හා කතා කරද්දී කොළඹ සරසවියේ හූ තැබූ සිද්ධිය ගැන සන්නස්ගල දන්වා ඇත. ‘ආ එහෙම එකක් වුණා තමයි.‘

සුනිල් පිළිතුරු දී ඇත.
ඒ සමගම සන්නස්ගල සිනාවී පවසා ඇත්තේ එදා ඔබතුමා කරපු කතාව හරි අගෙයි.. ඒත් දන්නවද මාත් ඔබතුමාට හූ කිව්වා.. හූ කියපු ගොඩේ මාත් හිටියා..ඔබ ඒ නිසා වෙනස්වීම ගැන සතුටුයි ලෙසිනි.
ඒ ඇසූ සුනිල්ගේ මුහුණ වෙනස්වී නැත. ඔහු සිනාවෙන්ම එය අසාගෙන ඇත්තද යයි පවසා ඇති අතර එදින සුහදව සමුගෙන පිටව ගොස් ඇත.

මේ අතර මෙම සිදුවීමට සම්බන්ධයක් ඇති නමුත් මුලදී සම්බන්ධය සොයාගන්නට බැරිවූ සිද්ධි දෙකක් ගැන සන්නස්ගල සිය මතකය අවධි කරයි. ඒ තමන් පේරාදෙනිය සරසවියේ කිසියම් ගීත වැඩසටහනක මෙහෙයවන්නෙකු ලෙස ආරාධනා ලැබ අවසන් මොහොතේදී එහි සංවිධායකයින් එය නතර කරනු ලැබීමයි.  ඊට හේතු ලෙස සංවිධායකයින් දන්වා ඇත්තේ ඔබතුමා එනවට මෙයට සහභාගී වෙන ගායකයෙක් කැමති නැහැ. ඒ අමරසිරි පීරිස් මහත්මයා.. එයා කිව්වා සන්නස්ගල එනව නම් මං එන් නැහැ කියා.. සන්නස්ගල එය අසා පුදුම වී ඇත්තේ තමා කෙරේ කිසිදු අමනාපයක් නැති අමරසිරි පීරිස් තමා ගැන අකමැත්තක් දැක්වීම ගැනය. අමරසිරි පීරිස්ගේ දියණියන් දෙන්නාද තමන්ගේ ටියුෂන් පන්තියේ වසර දෙකක් තිස්සේ අධ්‍යාපනය ලැබූ බවද සන්නස්ගලට සිහිපත්වී ඇත.
මේ අතර ස්වාධින රූපවාහිනියේ සංගීත වැඩසටහනකට තමාට ආරාධනා ලැබ පසුව ආරාධනා කළ අය කතා කර දන්වා ඇත්තේ

මේකට වික්ටර් රත්නායක මහත්තයත් එනවා.. එයා කියනවා ඔයා එනවට කැමති නැහැ කියලා ඒ නිසා ඔබේ ආරාධනාව අවංලංගු කරනව ලෙසිනි. තමා සමග වික්ටර් රත්නායක අමනාප ඇයිදැයි තමාට සිතාගත නොහැකිවී නමුත් පසුව වික්ටර්ගේ පුතු නැසීගිය ජයන්ත රත්නායක සමග කථාබහ කරමින් සිටියදී මෙම කාරනාව ගැන විමසන්නට සන්නස්ගල උනන්දුවී ඇත. ජයන්තගේ පිළිතුර වී ඇත්තේ මෙයයි.
‘ආ ඔය අපේ තාත්තාට සුනිල් මහත්තයා නිතර උදේට කතා කරනවා. එයා දවසක් කියල තියනවා ඔයා ගායකයන්ට හූ තියවනවා. කැම්පස් ළමයි සංවිධානය කරවලා උත්සව වලදී හූ තියවන කෙනෙක් කියලා.. ඒකයි ඔයා ගැන තාත්තා අකමැති.
සුනිල් මහත්තයා අපේ තාත්තාට වගේම අමරසිරි පීරිස් මහත්තයටත් නිතර කතා කරනවා. එහෙනම් ඒ දෙන්නම ඔයාට අකමැති ඒ හේතුව නිසා වෙන්න ඇති.‘