susil-premajayanth-after-interdicted

රාජ්‍ය ඇමතිධූරය අහිමිවිමෙන් පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රතිචාරය ධනාත්මක එකක් විය. තමාට ස්විප් එකක් ඇදුනා වැනි හැඟිමක් ඇතිව තිබෙන බවත් තමන්ගේ නීතීඥ වෘත්තියේ හෙට සිට නිදහසේ නියැළෙන්නට හැකි බවත් ඔහු කියා ඇත. 2000 සිට 2021 දක්වා ජනපතිවරුන් තුන්දෙනෙකු යටතේ වැඩ කළ තමාට මේ ගැන ගැටලුවක් නැතැයිද සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය ඇමතිවරුන් වී සිටින රටේ මෙය අරුමයක් නොවන බවද ඔහු කීය.
හිටපු රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ තම අමාත්‍යංශයෙන් අද පිටවෙද්දී මාධ්‍ය කළ විමසීම් වලට ප්‍රතිචාර ලෙසිනි.



ප්‍රශ්නය – ඇමතිතුමා මොකද වුණේ?

“මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්.  ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.”

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් ඔබ තුමාව දැනුවත් කරලා තියෙනවා ද?

“නෑ. සාමාන්‍යයෙන් දැනුවත් කරන්නේ නෑනේ. මාධ්‍යයෙන් තමයි දැන ගන්නේ ඉවත් කළා කියලා.”



ප්‍රශ්නය – හේතු දක්වලා තියෙන්නේ මොනවාද ඔබතුමාව ඉවත් කරන්න?

“එහෙම හේතු දක්වන්න ඕනේ නෑනේ. විධායක ජනාධිපතිතුමාට තියෙනවා ඕනේ කෙනෙක්ව පත්කරන්න ඕන කෙනෙක්ව අයින් කරන්න.”

ප්‍රශ්නය – මොකද්ද වෙලා තියෙන්නේ ?

“පෙරේදා පොළේ ගියාම ඔබ තුමන්ලාගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් 1,200යි කියලා. මම කිව්වා සම්පූර්ණයෙන් මේ කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමා අපි කතා කළේ.”

ප්‍රශ්නය – මීට කලිනුත් අමාත්‍යවරු රජය විවේචනය කරනවා.

“මං හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දීත් මොනවා හරි කතා වෙන්න ඇති. වගකීම් භාරදීලා තියෙනවා නේ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ අයට අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ.”

මෙහෙම තීන්දුවක් ගනී කියල හිතුවද?

මෙහෙම තීන්දුවක් නොගත්තනං තමා පුදුමෙ

ඇයි එහෙම?

ඇයි ඉතින් රටේ වැඩ පිළිවෙල යන හැටියට අනෙක් වැඩ යන හැටියට මෙහෙම දේවල් වෙන්න පුළුවන්නේ.. කොහෙටද අපි යන්නෙ කියල පේනවා. ඒව ගැන අපි කතා කරන්නෙ ජනතාව වෙනුවෙන් .. අපි අදහස් ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන්