tik-tok-grandpass-youth-killed

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී   17 හැවිරිදි තරණයෙකු ඝාතනය කළ සිද්ධියක් අද වාර්තා විය.
මොහොමඩ් අබ්දුල් ලතිප් මුනාක් නමැති මියගිය තරුණයා පාසල් ගමන අතෑරන ලද අයෙකි. ඊයේ දහවල් කාලයේදී ඔහුගේ සොහොයුරාට කෑම පාර්සලයක් ලබාදීම සඳහා සොයුරා සේවය කරන පෑලියගොඩ කුරියර් සේවා කාර්යාලයට මිතුරකු සමග ගිය බවත් අනතුරුව ඔහු සිය පාසල් යන වයසේ මිතුරා කැටුව නැවත හේනමුල්ල ප්‍රදේශයට ආ බවත් පැවසිණි. එම මිතුරා මෝදර ශාන්ත අන්තෝනි විදුහලේ ඉගනුම ලැබමින් සිටි අතර තවත් තරුණයෙකුත් සමග පාසල් නිම වන වෙලාවට

එකී පාසල අසලට ගොස් ඇත.
එම අවස්ථාවේදී මෙම තරුණයින් තිදෙනා සමග තවත්  පිරිසක් ගැටුමක් ඇතිකරගෙන ඇති බව වාර්තා වේ.
අනතුරුව ගැටුම ඇතිකරගත් ස්ථානයෙන් නික්මී මෙම තරුණයා ඔහුගේ යහළුවන් දෙදෙනාත් සමග  මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් සිටින විට ඔවුන් පසු පස පැමිණි පෙර ගැටුම ඇති කරගත් හයදෙනෙකුගෙන් යුතු තරුණ කණ්ඩායම නැවත ඔවුනට පහර දී පිහියෙන් ඇන ඇති අතර තරුණයාගේ ඝාතනය සිදුවන්නේ එම අවස්ථාවේදීය.
මියගිය මොහොමඩ් අබ්දුල් ලතිප් මුනාක්  Tik tok වීඩියෝ රූගත කිරීම විනෝදාංශය කරගෙන සිටි අයෙකු වන අතර මෙම ගැටුම අතරදී ඔවුන් බහින් බස්වෙද්දී මොහුගේ ටික් ටොක් වීඩියෝ ගැන කතාවක්ද මතුව ආ බවත් ජනවාරි 1 දා විනෝද චාරිකාවක් අතරවාරයේදී මුදාහල වීඩියෝවක්
ගැන වාද කර ඇති බවත් පොලිසි විමර්ශනවලදී අනාවරණයවී ඇත.

නමුත් පාසල අසළ ඇතිවූ ගැටුම වෙනත් පෙම් ආරවුලක් විය හැකි බවට සාධකද ලැබී ඇත.
 මේ නිසා ඝාතනයට මූලික හේතුව ටික්ටොක් වීඩියෝවක් විය නොහැකි බවත් ඒ ගැන පරීක්ෂණ තවම සිදුකරන බවත් පොලිසිය පවසා තිබේ.‍
ඝාතනයට ලක්වූ අබ්දුල් මුනාක්  වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ගැටුම අතරවාරයේ තුවාල ලැබූ අබ්දුල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  පසුව මිය ගිය බව රෝහල් ආරංචි වාර්තා කරයි.
ඝාතනය සිදුකළ පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය පිලිබඳ පොලිස් විමර්ශන අරඹා ඇත.