Putin-names-two-pro-Russian-provinces-of-Ukraine-as-independent-states

යුක්රේනට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන, රුසියානු හිතවාදී පළාත්, ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්  ජාතිය අමතමින් පැවැසීය. යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට අයත් පළාත් ලෙස සැලකෙන්නේ රුසියන් දේශසීමාවට යාබදව පිහිටි ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්ය. මෙම පළාත්, ස්වාධීන රාජ්‍යයන් ලෙස රුසියාව නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

“මා මේ තීරණය ගැනීම කළ යුතුව තිබුණේ අද නොවෙයි, මීට වසර කීපයකට පෙරයි. ඩොනෙස්ක් ජනතා ජනරජය සහ ලුහාන්ස්ක් ජනතා ජනරජය ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට මා වහාම තීරණය කළා.” යැයි ජනාධිපති පුටින්, රුසියානු ජාතික රූපවාහිනිය  ඔස්සේ ජනතාව අමතමින් පැහැදිලි කළේය. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරමින් රුසියාවට සහාය පළ කරන්නේ 2014 වසරේ සිටය.

2014 දී රුසියාව, මේ අයුරින්ම යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කළ යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළේය. ඒ, ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියන් හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන්ගේ සහාය  ඇතිවය. අදත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට අයත් කොටසක් ලෙස සැලකෙයි.  2014 වසරේ සිට මේ දක්වා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත්වලට රුසියාව නිල නොවන මට්ටමින් මුදල්  ආධාර ලබා දෙමින් සිටී. බෙදුම්වාදී සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙන්නේ  ද රුසියාව බව රහසක් නොවෙයි.

ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස නිල වශයෙන් පිළිගැනීමත් සමඟ එම පළාත්වලට ආධාර ලබා දීම රුසියාවට කළ හැකි වෙයි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදීන් යුක්රේන හමුදා සමඟ යුද වදින්නේ  නම්, රුසියාව ඔවුන්ට සහාය ලබා දෙනු ඇත.  රුසියාව යුක්රේනය අක්‍රමණය නොකරනු ඇති නමුත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට එක් කර ගත්  ආකාරයට ඩොනෙස්ක් සහ  ලුහන්ස්ක් ද රුසියාවට එක් කර ගනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊයේ (22) සවස් වෙද්දී ජනාධිපති පුටීන්ගේ අණ පරිදි රුසියන් හමුදා බළඇණ කීපයක් ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත්වලට ළගා වූ බව ද පැවැසිණි.

එම අවස්ථාවේ බ්‍රිතාන්‍යය කියා සිටියේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ බවය. ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් එකට ගත් කළ හැඳින්වෙන්නේ 'ඩොන්බාස්" යනුවෙනි. 2014 වසරේ සිට සටන් විරාසයක් පැවැතියත්, බෙදුම්වාදීන් සහ යුක්රේන හමුදා අතරේ විටින්විට ගැටුම් පවතින අතර එම ගැටුම් හේතුවෙන් 15,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. රුසියානු යුක්රේන අර්බුදය ඔඩුදිවීමත් සමග 1,550 වාරයක් එය උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා  දෙති.

ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපතිවරයා තීරණය කිරීම "නේටෝ සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවුණත්, ' නේටෝ' හිතවාදී රාජ්‍යයකි. රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ද මේ නිසාය. යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

ජාතිය ඇමතු අවස්ථාවේදී ද යුක්රේනය නේටෝව සමග එක් වීම රුසියාවේම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව පුටින් යළිත් වරක් පෙන්වා දුන්නේය. රුසියන් ජනාධිපතිවරයා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත් සම්බන්ධයෙන් ගත් තීරණය මුල්කොට ගනිමින්, එක්සත්  ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් ද පැවැත්විණි. එහිදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය රුසියාචට පක්ෂපාතී වෙමින් කියා සිටියේ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව කරන ඉල්ලීම්වලට ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් කන් දිය යුතු බවය.මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්සිකී ප්‍රකාශ කළේ තමන් හැමවිටම “සාමයේ මාවත" තෝරා ගනිමින් කටයුතු කරන නමුත්, යුක්රේනයට අයත් ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත් රුසියාවට අත්වෙනවා වට දැකීමට කිසිම අදහසක් නොමැති බවය.