Another-Pakistani-man-has-been-stoned-to-death-for-allegedly-burning-the-pages-of-the-Kuran

පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ බානේවාල් දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයක වාසය කළ මැදි වයසේ පුද්ගලයෙකු එම ගම්මානයේ වාසය කරන පිරිසක් ගල් ගසා මරා දැමීමේ පුවතක් පසුගියදා වාර්තා විය. එම පුද්ගලයා කුරානයේ පිටු කිහිපයක් පුලුස්සා දැමීමට එරෙහිව මෙම පිරිස මෙලෙස ඔහු ඝාතනය කර තිබෙන බව සදහන් වෙයි. අනතුරුව මෙම ඝාතනය කෙරුණු පුද්ගලයාගේ සිරුර ඒ අසල ගසක එල්ලා දැමීමටත් ගම්මානයේ වැසියන් කටයුතු කර තිබේ. එහිදී අදාළ පුද්ගලයා තමන් එම සිදුවීමට වැරදි කරු නොවන බව පැවසුවත් ඔහුව ඝාතනය කළ පිරිස් ඒ කිසිවක් නොඇසූ බව ගම්මානයේ පිරිස් සදහන් කළ බවත් පාකිස්තාන මාධ්‍ය පවසයි.



මේ අතර ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව සිදුවීම හටගෙන එම පුද්ගලයාට ගල් ගැසීම ඇරඹීමට පෙරාතුව එම ස්ථානය වෙත පොලීසිය පැමිණ තිබේ. අනතුරුව පොලීසිය ඔහු සිය භාරයට ගෙන ඇතත්, කෝපයට පත්ව සිටි ගම්මානයේ වැසියන් ඔහුව පොලිස් භාරයෙන් ගලවාගෙන මෙලෙස පහරදීම සිදුකර ඇත.  මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාකිස්තාන ජනාධිපති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය පොලීසිය වෙත නියෝග ලබාදී ඇතැයි පැවසෙයි.

ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුව  ඇතැයිද සඳහන් වෙයි. පසුගිය දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකේය ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු මහාමාර්ගයේදී පහරදී මරා, පුලුස්සා දැමීමේ සිදුවීමෙන් අනතුරුව, එරටින් වාර්තා වූ තවත් මෙවැනිම සිදුවීමක් ලෙසද මෙම ගල් ගසා මරා දැමීම සටහන්ව තිබේ. එහිදී ද අදාළ කළමනාකරුවා ඉස්ලාම් ආගමට අපහාස කළ බව පවසමින් ඔවුන් එම පහරදීම සිදුකර තිබුණි.



මෙම සිදුවීම හේතුවෙන් පාකිස්තානයට දරුණු කැළලක් ඇති වූ අතර, සිදුවීම හෙළා දුටු එරට අගමැති ඉම්රාන් ඛාන් තමන්ට ජීවත්ව සිටින තෙක් යළිත් පාකිස්තානය තුළ ආගම හා සම්බන්ධ කරගත් මැලෙස ඝාතන සිදුවීමට අවස්ථාවක් ලබා නොදෙන බව පවසා තිබුණි.  මේ අතර පාකිස්තානයේ පර්යේෂණ සහ ආරක්ෂක අධ්‍යයනයන් පිළිබද මධ්‍යස්ථානයට අනුව 1947 වසරේදී පාකිස්තානය නිදහස ලැබීමෙන් අනතුරුව ගෙවුණු කාලය තුළදී එරට තුළ මෙලෙස ආගමට අපහාස කිරීම හා සම්බන්ධ චෝදනා යටතේ පුද්ගලයන් ප්‍රසිද්ධියේ ඝාතනය කිරිමේ සිදුවීම් 1,415ක් වාර්තා වී තිබේ.-