හෝමාගම රෝහල අසල උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතරතුර දී ආරක්ෂිත බැම්මකින් බිමට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ ගොඩගම පැල්පොලවත්ත අංක 59 හි පදිංචි රත්නායක මුදියන්සේලාගේ දයාරත්න නමැති (66) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා බිරිය හා ඥාතීන් සමග විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී වී ඇති අතර එහි දී මිතුරන් පිරිසක් සමග සතුටු සාමීචියේ යෙදෙමින් සිටිය දී රථ ගාලේ නවතා තිබූ වාහනයක් පරික්ෂා කිරීම සඳහා රථ ගාල දෙසට ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
උත්සව ශාලාව උස් භූමියක පිහිටා ඇති අතර රථගාල පහළින් පිහිටා තිබේ. ඒ අතර මැද පිහිටා ඇති අඩි පහක් පමණ උසින් පිහිටි ආරක්ෂිත බැම්ම අසලට විත් රථ ගාල දෙස බලා සිටිද්දී සිරුරේ සමබරතාව බිඳී ආරක්ෂිත බැමෙන් පහළට වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. එම අවස්ථාවේ දී බිරිය ඇතුළු ඥාතීන් උත්සව ශාලාව තුළ ආහාර ගනිමින් සිට ඇති බව පැවසේ. අනතුරින් මියගිය පුද්ගලයාගේ හිස කොන්ක්‍රීට් පොළොවේ වැදී බරපතළ තත්ත්වයෙන් පසු වූ අතර ක්ෂණිකව ඥාතීන් එක්ව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මිය ගොස් තිබේ.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදුකර තිබුණි. එහි දී ඉදිරිපත් වූ සාක්කි සහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. නවසිවායම් මහතා විසින් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවට, උස් භූමියක සිට පහළට වැටීමෙන් හිස තද පෘෂ්ඨයක වැදී මොළයට වූ බරපතළ හානි මරණයට හේතුව බව හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා නිගමනය කළේය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
0 Comments