Limits-oil-to-sheds-due-to-lack-of-dollars

ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම  හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. 

මහ බැංකුව බනිජ තෙල් සංස්ථාවට ඩොලර්  නිකුත් නොකිරීමත් තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ. ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී  ඇතැයි වාර්තා වේ.

  මේ තත්වය හමුවේ රට තුළ ඩීසල්  ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම  ආරංචිමාර්ග කියයි. එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල්  නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය  ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ.

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහකට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට  ඇත.  මේ තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යාංශය කියයි.  මේ අතර රටේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල ඩීසල් හිගයද මේ වන විට ඇතිව තිබේ.  ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමද මේ වන විට සීමා කර ඇත.